Female Buddhist monk

අජිත් පැරකුම් ජයසිංහ

මෙහෙණි සසුන ආරම්භ වූයේ අද වැනි බිනර පොහෝ දිනක ය. නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය.

Sinhala Tamil English Translations and Content Writing

“මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා උපසම්පදාව එපා කියලා. මට මෙහෙණියක් ලෙස හැඳුනුම්පතක් තියනවා. ඉන්පසු උපසම්පදා වූ භික්ෂුණීන්ට හැඳුනුම්පත් දුන්නේ නැහැ. එහෙම හැඳුනුම්පතක් නැති පන්දාහක් පමණ ඉන්නවා. අපි මේ රටේ පුරවැසියෝ. ඉස්ලාම්, කතෝලික, හින්දු පූජක පක්ෂවලට ඒ වටිනාකම දෙනවා නම් බෞද්ධ මෙහෙණිවරුන්ට ඒ අවස්ථාව දෙන්න බැරි ඇයි?” (මූලාශ්‍ර‍ය)

බුදු සසුන තුළ මෙහෙණි සසුන ආරම්භ වන්නේ බුදුන් වැඩ වෙසෙද්දී තරමක් පසුකාලීනව ය. මහණ වීම සඳහා මුලින් ම අවසර ඉල්ලා සිටියේ යශෙෘ්ධරා දේවියයි. දෙවනුව අවසර ඉල්ලුවේ බුදුන් ළඟ පැවිද්ද ලද ශාක්‍ය, කෝලිය කුමාරවරුන් 500දෙනෙකුගේ කුමාරිකාවෝ ය. තුන්වන වර සිදුහත් කුමරුගේ සුළුමව වූ ප්‍ර‍ජාපතී ගෝතමිය අවසර ඉල්ලුවා ය. මෙම අවස්ථා තුනෙහිදී ම බුදු හිමියෝ අවසර දීම ප්‍ර‍තික්ෂේප කළත්, පසුව ප්‍රජාපතී ගෝතමිය ඒ වෙනුවෙන් කළ බලපෑමත්, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ ඉල්ලීමත් හේතුවෙන් කාන්තාවන්ට මහණ වීම සඳහා අවසර ලැබිණි.

“භික්‍ෂුණී සංස්ථාව ආරම්භ කිරීම සඳහා බුදුරදුන් අවසර ලබා දෙන්නේ, මුලින් පිහිට වූ සංඝ සමාජයෙහි සාමාජික ප්‍රතිමාන පද්ධතියට ඉන් ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් හැකිතාක් අවම වන පරිදි අෂ්ට ගරු ධර්ම නමින් හැඳින්වෙන ආචාර ධර්ම කොට්ඨාසයක ආවරණය ලබා දෙමිනි. භික්‍ෂුණී සංස්ථාව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ ඒ සඳහා කැමැත්තක් දක්වන කාන්තා පිරිසට පෞද්ගලික ආධ්‍යාත්මික සාරධර්ම සංවර්ධනයට පහසු මඟක් පාදා දීම විනා භික්‍ෂු පිරිස මෙන් පූර්ණකාලීන ක්‍රියාකාරී ලෙස ජව සම්පන්නව හුදකලාව දුර බැහැර ඉතාමත් අනතුරුදායක ප්‍රදේශවල පවා තනිවම පාගමනින් වැඩම කරමින් අති මහත් ගැහැට විඳදරා ගනිමින් ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත වීම නොවේ,” යි සුජිත් නිශාන්ත හේවගේ බුදුසරණ පුවත්පතට ලියන ලිපියක පවසයි.

එම අෂ්ට ගරු ධර්ම මෙසේ ය:

  1. උපසම්පදාවෙන් වර්ෂ සීයයක් ගතවුවත් භික්ෂුණිය එදින උපසම්පදාව ලැබූ භික්ෂුවට වැඳීම් පිදීම් ආදි ගරු සැළකිලි කළ යුතුය.
  2. භික්ෂූන් නැති පෙදෙසෙක භික්ෂුණිය වස් නොවිසිය යුතුය
  3. අඩමසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විමසිය යුතුය
  4. වස් අවසානයේ භික්ෂූ භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.
  5. මෙහෙණිය උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතුය
  6. ශික්ෂා මානාවක වශයෙන් අවුරුද්දක් සිට උපසම්පදාව ලැබිය යුතුය
  7. භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය
  8. මෙහෙණිය විසින් භික්ෂුවට අවවාද නොකළ යුතුය. භික්ෂූන් මෙහෙණින්ට අවවාද කළ යුතුය . ඔවුන් ඒවා පිළිගත යුතුය. (මූලාශ්‍ර‍ය)

ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුනෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය (ක්‍රි .පූ. 230 – 210) කරා විහිදෙයි. දීපවංසයේ 15, 77, 78 පරිච්ඡේදවල සඳහන් වන පරිදි සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර, ගල්ලා, අග්ගිමිත්තා, කප්පා, පබ්බජින්නා, මල්ලා, ධම්මදාසිකා යන මෙහෙණින් වහන්සේලා දේවානම්පියතිස්ස රජුගේ ආරාධනයෙන් මෙරටට වැඩම කර තිබේ. මහානාග නම්වූ යුව රජතුමාගේ මෙහෙසිය වූ අනුලා දේවිය ප්‍රමුඛ ස්‌ත්‍රීන් දහසක්‌ දෙනා පමණ පැවිදි බව ලැබූ හ. සද්ධර්මරත්නාලංකාරයේත්, මහාවංශයේත් සඳහන් පරිදි මෙහිදී රජතුමන් විසින් භික්‌ෂුණීන් වහන්සේලාගේ වැඩ විසීම සඳහා අනුරපුර නගරයෙහි “හත්ථාලිහක” විහාරය සහ “උපාසිකාරාමය” යන මෙහෙණි ආරාම පළමුවරට පිහිටුවනු ලැබුවේය.

මහානාම රජු දවස (ක්‍රි. ව. 412 – 434) සිංහල භික්‌ෂුණීන් අට නමක්‌ චීනයට වැඩම කරවීමෙන් පසු එරට “භික්‌ෂුණී ශාසනය” ආරම්භ වූ බව ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා පවසයි. (මූලාශ්‍ර‍ය)

කෙසේ වෙතත් සියමෙන් උපසම්පදාව රැගෙන ආ මහනුවර යුගය වන විට ලංකාවේ මෙහෙණි සසුනක් නො තිබිණි. භික්ෂු සාසනය ද අන්තයට ම පිරිහී ගෘහ ජීවිත ගත කරන ගමන් ම ආගමික කටයුතු මෙහෙයවූ ගණින්නාන්සේලා පිරිසක් බවට බෞද්ධ පූජක පක්ෂය පිරිහිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස (ක්‍රි.ව. 1742 – 1782) වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව නැවත ලබා ගැනිණි.

මෙහෙණි සස්න වියැකී ගොස් වසර දහසකට පමණ පසුව දඹදිව මහාබෝධි සමාගමේ සභාපති වූද, රත්මලාන පරමධම්ම චේතිය පරිවෙනාස්‌ථානයේ විහාරාධිපති වූද ආචාර්ය පූජ්‍ය මාපලගම විපුලසාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ථෙරවාදී සංඝයාවහන්සේ පිරිසක්‌ද, කොරියාවෙන් පැමිණි භික්‍ෂු – භික්‍ෂුණි පිරිසක්‌ද සහභාගිව ලක්‌දිවින් තෝරාගත් දසසිල් මෑණිවරුන් දස දෙනකුට සාමනේර පැවිද්ද හා උපසම්පදාව බරණැස, ඉසිපතන ශුද්ධ භූමියේදී 1999 දෙසැම්බර් මස 08 වැනිදා ප්‍රදානය කරන ලද බව ආචාර්ය සිරි තිලකසිරි පවසයි.  මෙය ශ්‍රී ලංකාවේ භික්ෂුණී සාසනයේ පුනරුත්පත්තිය ලෙස සැලකිය හැකි ය.

ශ‍්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනයට හිමි වන්නේ දෙවන ස්ථානය බව නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනියගේ අදහසයි. “බුදුන්වහන්සේ තැන දුන්නේ අසහාය මානසික ශක්තියට මිසක් ස්ත‍්‍රීපුරුෂභාවයට නොවෙයි. බුද්ධ ධර්මය සුරක්ෂිත කිරීම පළමු සංගායනාවේ සිටම මෙහෙණින් වහන්සේලාට පැවරිලා නෑ. භික්ෂූන් වහන්සේලාම තමයි ඒ කොටසත් එකතු කරන් ඇවිත් තියෙන්නේ. සංගායනා කරන කොට අටුවා ලියනකොට ඕවා වෙනස් වෙනවා ඇති කියලා හිතෙනවා. ඒත් සමාජ ගැටලුවක් ලෙස මම මේකට මුහුණ දෙනවා.”

බුද්ධ කාලයේ භික්ෂුනී ශාසනයට පදනම වූයේ යයි අද අප විශ්වාස කරන අෂ්ට ගරු ධර්ම කාන්තාව විෂයෙහි බෞද්ධ ආකල්ප කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරයි. එය සිංහල බෞද්ධ සමාජයෙහි ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවට හා සාධාරණත්වයට ද බලපෑමක් ඇති කරයි.

බුදුන් අෂ්ට ගරු ධර්ම පැනවූවා නම්, ඒවා පැනවූයේ වසර 2500කට ඉහතදී ය. එම වකවානුව වනාහි ධර්ම ප්‍ර‍චාරය සඳහා සංඝයාගෙන් දැඩි කැපකිරීම් බලාපොරොත්තු වූ පූර්ව නූතන යුගයකි. අද වන විට තත්වයන් බොහෝ දුරට වෙනස් වී තිබේ. අෂ්ට ගරු ධර්ම ගැන බෞද්ධ සමාජයේ සංවාදයක් මතු විය යුත්තේ ඒ නිසා ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.