IMF team in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ

2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි

රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීම ආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය තවත් දුරය. එය වෙත ළඟාවීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

මෙම කාර්ය මණ්ඩල එකඟතාව ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ණයකරුවන් සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙනයාමට උත්තේජනයකි. එහෙත්, ණය අඩුකිරීමේ සාකච්ඡාවලට කල්ගත වනු ඇත. ජපානය හා ඇමරිකා එක්සත් ජනපදය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබීම ද සහනයකි. මෙම පසුබිම තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් හරහා ණය ලබාදීම සඳහා අවම වශයෙන් මාස පහක් හෝ හයක් ගතවනු ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික දුෂ්කරතා හමුවේ 1966, 67, 69, 70, 72, 75, 78, 82, 84, 91, 95, 2002, 2006 (වැඩසටහන් දෙකක්), 2012, 2020 යන වසරවලදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් මුත් සහ එම සහාය නිසා ශ්‍රී ලංකාවට හානි සිදුවූ බවක් වාර්තා වී නැතිමුත්, ලංකාවේ බොහෝ දෙනා එම සංවිධානය සම්බන්ධයෙන් තිබෙන්නේ සතුරු ආකල්පයකි. ශ්‍රී ලංකාව ද සාමාජික රාජ්‍යයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ස්ථාවරභාවය ඇතිකිරීම, අවදානම්සහගතභාවය අවම කිරීම, තිරසර වර්ධනය සහ ඉහළ ජීවන ප්‍රමිති ප්‍රවර්ධනය කිරීම සඳහා ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාමාජික රටවලට විශේෂඥ උපදෙස් හා සහන ණය වැනි සහාය දෙන ගෝලීය සංවිධානයකි. ඒ සඳහා යොදාගනු ලබන්නේ සාමාජිකත්වය ගැනීම සඳහා රාජ්‍යයන් විසින් ලබාදෙන දායකත්ව අරමුදල්ය.

SDR හෙවත් විශේෂ ණය හිමිකම් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් භාවිතා කරනු ලබන ගිනුම් ඒකකයකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙනත් සාමාජික රාජ්‍යයන් සමග විනිමය ලෙස හුවමාරු කරගත හැකිය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ක්ෂණික මූල්‍ය පහසුකමක් (Rapid Financing Instrument – RFI) මෙන්ම විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) සඳහා අයදුම් කළමුත් යෝග්‍යතා නිර්ණායකවලට අනුකූල නොවන නිසා ක්ෂණික මූල්‍ය පහසුකම ප්‍රතික්ෂේප විය. දෑඅවුරුදු කාලසීමාවක් තුළදී ලබාදීම සඳහා සලකා බලමින් තිබෙන විස්තීර්ණ අරමුදල් පහසුකමක් යනු, ආර්ථිකයක ව්‍යූහාත්මක දුර්වලකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සැලසුම් කරන ලද දිගුකාලීන මැදිහත්වීමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම තිරසරද, යෝග්‍ය නිවැරදි කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබේද, නිර්දේශිත කාර්යදර්ශක නිර්ණායක අනුගමනය කරන්නේද යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් යනු ඒ සම්බන්ධ විශ්වාසය ප්‍රකාශ කිරීමකි.

ශ්‍රී ලංකාව කොපමණ ණය කපාහැරීමක් අපේක්ෂා කරනවාදැයි අපි නොදනිමු. එහෙත්, ඒ බව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා තිබෙනවා විය හැකිය. කපාහැරීමට අපේක්ෂා කරන මුදල කල්තබා ප්‍රසිද්ධ කළ නොහැකිය. එසේ කළහොත්, එතරම් කපාහැරීමක් ලබාගත නොහැකි වනු ඇත. එසේම, විදේශ ණය හිමියන් දේශීය ණය කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා රජයට බලකරන්නට ඉඩ තිබේ. රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව නිසා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර නියෝජිතායතනවලට ද මිත්‍ර රටවලට ද ශ්‍රී ලංකාවට අන්තර්කාලීන මූල්‍යාධාර සැපයිය හැකි වේ. හේතුව, රට නැවත ආර්ථිකය යථාවත් කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවට ජාත්‍යන්තර සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව නිසා ලැබී තිබෙන බැවිනි. කෙසේ වෙතත්, අන්තර්කාලීන මූල්‍යාධාර රඳාපවතින්නේ ශ්‍රී ලංකාවේ රජය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය හා රාජ්‍ය නායකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් හරහා පමණක් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳාගත හැකි වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ඒවා වේදනාකාරී ද වේ. එකී ප්‍රතිසංස්කරණවලට දැන් මුලපුරා තිබේ. රාජ්‍ය වියදම් අඩු කළ යුතුව තිබේ. ඒ සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කළ යුතුය. රාජ්‍ය අංශයේ ඵලදායීතාව ඉහළනංවාගත යුතුය. රාජ්‍ය ආදායම් ඉහළනංවාගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්ය. ආදායම් බදු වැනි ඍජු බදු ප්‍රතිශතය ඉහළ නංවාගත යුතුය. ව්‍යාපාර කිරීම තවදුරටත් පහසු කළ යුතුය. ආයෝජකයන්ට හිසරදයක් වී තිබෙන රැකියා අවසන් කිරීමේ පනත වැනි නීති වෙනස් කළ යුතුය. රජයේ වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කිරීම ද අවශ්‍යය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ දැඩි ආනයන සීමා මතය. එය ආර්ථික වර්ධනයට දැඩි ලෙස බාධාකාරීය.  

ඉදිරි කාලයේදී ඉතා පරිස්සම් සහගත ලෙස පොළී අනුපාතික ඉහළ නැංවීම, විනිමය අනුපාතිකය පාකිරීම, මුදල් මුද්‍රණය නැවැත්වීම, රාජ්‍ය සහනාධාර අත්‍යවශ්‍ය අයට පමණක් සීමාකිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේ.

2 thoughts on “IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

  1. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බව ත් ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බව ත් එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, දේශපාලන පක්ෂවලට මුවා වී මෙම කරුණු සදහට ම කල් දැමිය නොහැකි බව ය

  2. Naya aran , Sudu ali nadathu kiriema menma thawath sudu ali janitha nokara pissu kelinne nethuwa rata run koloth anduru umaga kelawara eliya dekinna hekiwanu nisekaya .

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: