වී වෙනුවට රෝස

අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයට ලියූ ලිපියකි

ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය.

ඒ හා සමාන්තරව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව හා එතෙක් ණය නොගෙවන බව ප්‍රකාශ කිරීමත් සමග මේ වන විට ශ්‍රී ලංකාව තිබෙන්නේ දැඩි දුෂ්කර තත්වයකය. එක පැත්තකින් රට තුළ දේශපාලන අර්බුදය හේතුවෙන් අස්ථාවරත්වයක් පැවතිණි. අගමැතිවරුන් තිදෙනෙකු පත්විය. හැටනම ලක්ෂයක ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ මධ්‍යයේ තනතුර හැර ගියේය. නව ජනාධිපතිවරයකු පත්වූයේය. විරෝධතාකරුවන් අතරින් පිරිසක් නව ජනාධිපතිවරයාට ද විරෝධය පළකරති.

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ණය අවිධිමත් ලෙස පැහැරහැරීමක් (Hard Default) හෙවත් ණයහිමියන් වෙත දැනුම්දීමකින් හෝ අලුත් ගෙවුම් කොන්දේසි කල්තබා සාකච්ඡා කිරීමකින් තොරව ණය පැහැරහැරීමක් සිදුකළ රාජ්‍යයක් ලෙසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලාසිටියේ විස්තීර්ණ අරමුදල් පහසුකමකි (Extended Fund Facility). විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් මධ්‍යකාලීන ගෙවුම් ශේෂ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සපයනු ලබන දිගුකාලීන ණයකි. මේ වන විට එය සලකාබැලීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. ජා.මු.අ. දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දස දින චාරිකාවක් පසුගිය ජූනි 30දා අන්දමින් අවසන් කළහ. කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ දිගටම පවත්වන බව ඔවුහු කීහ.

රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජා.මු.අ. සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

ඉතාම ප්‍රශස්ත තත්වයන් යටතේ පවා ශ්‍රී ලංකාවට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට ඇතුළත්ව අරමුදල් ලබාගත හැකිවනු ඇත්තේ වසර අවසානයේදීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ඇතුළත් වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ සිට එවැනි වැඩසටහනකට ඇතුළත් වීම දක්වා අතර කාලයේදී ගතයුතු පියවර රැසක් තිබේ. එම ක්‍රියාවලිය රාජ්‍යයෙන් රාජ්‍යයට පවත්නා තත්වයන් අනුව වෙනස් වේ. විවිධ හේතු නිසා ප්‍රමාදවීම් ද සිදුවිය හැකිය.

ණය ප්‍රතිව්‍යූහත කරගැනීම ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය සහතික කරගැනීමේ මූලික පියවරකි. මෙම ක්‍රියාවලිය ඔස්සේ කරනු ලබන්නේ රටක ණය ආපසු ගෙවීම සම්බන්ධ කොන්දේසි නැවත සාකච්ඡා කර තීරණය කිරීමයි. එය පූර්ණ බංකොළොත්භාවයට වඩා අඩුවෙන් භයානක ප්‍රතිවිපාක සහිත විකල්පයකි. එමගින් ණය ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදය දීර්ඝ කරගැනීම, පොළී අනුපාතික අඩුකරගැනීම හෝ ණය ප්‍රමාණය අඩුකරගැනීම (hair cut) සිදුකළ හැකිය. විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා කිරීම පිණිස ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) නම් වන ඉහළ පෙළේ මූල්‍ය හා නීති උපදේශක සමාගමේ සේවා ශ්‍රී ලංකාව විසින් ලබාගනිමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතුව ඔවුන් විසින් රටේ ණය අඩුකළ යුතු මට්ටම සහ එහිදී භාවිතා කළ යුතු මෙවලම් නිර්ණය කරති. එසේම, ණය ලබාදුන් පාර්ශ්වවලට ද සාධාරණත්වය තහවුරු වන අන්දමින් කටයුතු කරති. නීති උපදේශකවරුන් කරන්නේ ශ්‍රී ලංකාව ණය ලබාගැනීමේදී එකඟ වූ නීතිමය බැඳීමක් සහිත කොන්ත්‍රාත් ගිවිසුමක කොන්දේසි වෙනස් කිරීම සහ ගිවිසුම අලුත් එකඟතාවන් අනුව හැඩගස්වාගැනීම සඳහා උපදෙස් සැපයීමයි.

මෙම ක්‍රියාවලි ඉතා සංකීර්ණය. ශ්‍රී ලංකාවේ ණය හිමියන් පහත දැක්වෙන ආකාරවලින් වර්ගීකරණය කර තිබේ.

බහු පාර්ශ්වීය (ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල)
ද්විපාර්ශ්වීය (ජපානය, චීනය, ඉන්දියාව)
වානිජ ණය (ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, චීනයේ එක්සිම් බැංකුව)

ණය අඩුකිරීම සඳහා, ශ්‍රී ලංකාව සියලු ණයහිමි කණ්ඩායම් සමග සාකච්ඡා කළ යුතුය. ඔවුන් එවැනි ණය අඩුකිරීමකට එකඟ විය යුතුය. යුරෝබොන්ඩ් හෙවත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් යුරෝබොන්ඩ් බැඳුම්කර ප්‍රමාණය සමස්ත ණයෙන් 34.5%කි. මෙම ණය කාණ්ඩය අතිශය විවිධ වන අතර පුද්ගලයන් සහ ආයතන රැසක් ඒ සමග සම්බන්ධ වෙති. බොහෝවිට ඔවුහු ඒකාබද්ධ වී තම අභිලාෂයන් ඉටුකරගැනීමට උත්සාහ කරන අතර ඔවුන්ගේම මූල්‍ය හා නීති උපදේශකවරුන් භාවිතා කරති. ජාත්‍යන්තර බැඳුම්කර වෙනුවෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ ණයහිමියන් අතරින් සුළු පිරිසක් ප්‍රතිව්‍යූහගත කරන ලද අලුත් කොන්දේසිවලට එකඟ නොවීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබාගැනීම සඳහා රටවල් විසින් ප්‍රතිපත්ති හැඩගස්වාගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. එමගින් වර්තමාන අර්බුදයට හේතු වූ ගැටලු නැවත ඇතිනොවන බව තහවුරු කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මගින් සිදුවනුයේ රටේ මූල්‍ය සම්පාදන අවශ්‍යතා සහ අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිචාර තක්සේරු කිරීමයි. එහිදී නිර්දේශිත ප්‍රතිපත්ති තෝරාගැනීම, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටට නිදහස තිබේ.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අරමුදල් සම්පාදනය කිරීමට පෙර රටක රජයක් විසින් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වීමයි. මෙම ‘ප්‍රතිපත්තිමය කොන්දේසි සහගතභාවයක්’ කෙරෙහි ඇපකැපවීමයි. 

ණය ඉල්ලීම ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ. එහිදී සිදුවන්නේ එකඟවූ ප්‍රතිපත්තිමය වැඩසටහන ‘අභිලාෂය පළකිරීමේ ලිපියක්’ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමයි. ඉන්පසු ‘අවබෝධතා ගිවිසුමකට’ එළඹෙන අතර රටේ ප්‍රතිපත්ති අභිලාෂයන් පිළිගන්නා ලෙස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් වෙත ප්‍රවේශය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබේ.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබාදෙන්නේ වාරික වශයෙනි. ඉදිරි වාරික ලබාගැනීම සඳහා ප්‍රගතිය ප්‍රදර්ශනය කළ යුතුය. වැඩසටහන නිසි ලෙස සිදුවන්නේදැයි තක්සේරු කිරීම සඳහා කාලීනව වැඩසටහන් සමාලෝචන පැවැත්වේ.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියත එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (Special Drawing Rights – SDR) 145%කි. එහි පොළිය 1-3% අතර වේ. එහි ආපසු ගෙවීමේ කාලසීමාව අවුරුදු 4.5-10 අතර වේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: