Sri Lanka Railway

අජිත් පැරකුම් ජයසිංහ, 2022-08-14 අනිද්දා සමබිම අතිරේකයෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා සහන ණයක් ලබාදීමේදී ශ්‍රී ලංකාවට මුහුණදෙන්නට සිදුවන කොන්දේසි පිළිබඳ විවිධ අදහස් පළවනු දැකිය හැකිය. එහිදී නියත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නියම කිරීම බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ‘වයර්’ යූටියුබ් නාලිකාව වෙනුවෙන් ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන කරන් තාපර් මෙහෙවූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

“මේ වසරේ අපගේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් පවතින තත්ත්වයක් පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිය විය හැක්කේ වැඩ සටහන නිමා වනවිට හෙවත් වසර තුනක් අවසානයේදී එම අයවැය පරතරය සියයට දෙකක අතිරික්තයක් බවට පත්කර ගත යුතු බවයි. ඒ අනුව මුළුමනින් ගත් විට සියයට හයක (6%) වෙනසක් අප අයවැය තුළ සිදුකර ගත යුතුය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ආදායම් වැඩි කර ගත යුතුය.”

ප්‍රාථමික ගිනුමේ ශේෂය යයි කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණය පොලී ගෙවීම් හැර සෙසු රාජ්‍ය වියදම අතර වෙනසයි. ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන රාජ්‍ය වියදම පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වාගත හැකි නම් ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයකැයි කියනු ලැබේ. (ප‍්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂය = විදේශ සාධක ලැබීම් – විදේශ සාධක ගෙවීම්)

යහපාලන ආණ්ඩුව පැවති සමයේ මංගල සමරවීර මුදල් ඇමති ධුරයේ කටයුතු කරද්දී මෙම තත්වය අත්පත් කරගැනීමට රජය සමත්විය. 2017, 2018 යන වසර දෙකේම ප්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂයක් වාර්තා විය. ප‍්‍රාථමික ශේෂයේ අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් ලෙස 2017 වසරේ 0.025ක් (රුපියල් බිලියන 2.1) වූ අතර 2018 වසරේදී 0.6% (රුපියල් බිලියන 91.4ක්) දක්වා වැඩි විය.

2018 වසරේ රජය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කළේ රාජ්‍ය ආදායම් අඩු වීම මධ්‍යයේය. මෙම තත්ත්වය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රාග්ධන වියදම්හි සිදුවූ පහළ යෑම උපකාරී විය.

රාජ්‍ය ආදායම් යනු බදු අය කිරීම් වේ. ඒ අනුව රජයට බදු ආදායම් ඉහළනංවා ගැනීමට අනිවාර්යයෙන් සිදුවේ. කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් අඩුකිරීම පිළිබඳ කිසිවෙකු එඩිතරව කතාකරන්නේ නැත. රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා බොහෝ අය යෝජනා කරන්නේ ඇමති මණ්ඩලය අවම කිරීම හා දූෂණය නැතිකිරීම වැනි කාරණාය. එමගින් යම් රාජ්‍ය වියදම් අඩුවීමක් සිදුවන බව සැබෑය. එහෙත්, එය ප්‍රමාණවත්ද?

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යවලට පැවැසීය. ඔහුගේ මූලාශ්‍රය කුමක්දැයි ඔහු පැවසුවේ නැත.

ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් 2006 වසරේ සිට 2020 වසර දක්වා ලැබූ පාඩුව රුපියල් ටි‍්‍රලියන 1.2ක් බව අනාවරණය වී ඇතැයි ප‍්‍රවීණ ආර්ථික උපදේශකවරයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.

කෝප් කමිටුවේ වාර්තා අනුව රාජ්‍ය ආයතන 32ක් 2018 වර්ෂයේදී රුපියල් බිලියන 193 ක් ද, 2019 වර්ෂයේදී රුපියල් බිලියන 158 ක් ද, 2019 වර්ෂයේදී රුපියල් බිලියන 114ක් ද පාඩු ලබා තිබේ.

රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රධාන මාර්ගයක් වන්නේ මෙම පාඩු අවම කරගැනීමයි.

2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන 2021 ජුලි මාසයේදී කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසීය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි. ජනගහනයෙන් සෑම 15කටම එක් අයෙකු රජයේ සේවකයකු යයි කියැවේ.

ලක්ෂ පහකට වැඩි රජයේ විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායන්ගේ සේවකයන් ද එකතු කළ විට රටේ ජනගහනයෙන් සෑම දහදෙනෙකුගෙන්ම එක් අයෙකු ඍජුවම රජයෙන් යැපෙන්නෝය. ඔවුන්ගෙන් යැපෙන්නන් ද ගණනය කළ විට රටේ ජනගහනයෙන් 30%ක්වත් ඍජුවම යැපෙන්නේ රජයෙනි.

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩු කළහොත්, එය රටට බලපාන අන්දම ඒ අනුව සිතාගත හැකිය.  

ආරක්ෂක වියදම් අවම කිරීම ගැන ද ඇතැමෙක් අදහස් පළකරති. එහිදී ද අමතක කළ නොහැකි කාරණය වන්නේ ආරක්ෂක වියදම්වලින් වැඩි ප්‍රතිශතයක් වැයවන්නේ ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදා සාමාජිකයන්ට වැටුප් ගෙවීමට බවයි.

රාජ්‍ය වියදම් අවම කිරීම කෙතරම් වේදනාකාරී කාර්යයක් විය හැකිද?

1 thought on “IMF ඉන්ජෙක්ෂන් එක හරියටම ගහන තැන

  1. දේශපාලනඥයන් විසින් රජයේ ආයතනවලට ඇඟිලිගැසීම මුලින්ම පටන්ගන්නේ 1970 සමගි පෙරමුණු ආණ්ඩු යටතේය. මේ සමගි පෙරමුණ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය යන පාර්ශ්ව තුනෙන් සමන්විත විය. කල්යත්ම සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය එකී රජය තුළ කිසියම් ආකාරයකට නිෂ්ක්‍රීය තත්ත්වයකට පත්විය. ඒහාම ශ්‍රීලනිපයේ බලය මහත්සේ නැගෙන්නට විය. ඒ අතර එම පක්‍ෂය තුළ සිටි දේශපාලන චරිත කිහිපයක් උපරිම බලය ඇති සුපිරි චරිත බවට පත්වූහ. සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙක තුනක් ගතවෙත්ම ආණ්ඩුවේ ඉහළ තනතුරු සියල්ලම පමණක් නොව කසළශෝධක තනතුර ද එකී දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම්වලට ලක්විය. එකී බලවතුන්ගේ අභිමතය පරිදි ඕනෑම රජයේ නිලධාරියෙක් දුෂ්කර පළාතකට මාරුකර යැවීමට හැකි විය. එසේම දුෂ්කර පළාතක සේවය කරන ආණ්ඩුවේ ගොට්ටෙක් ඕනෑම අවස්ථාවක කොළඹට හෝ ඔහුගේ ගමේ කාර්යාලයට මාරුකර ගත හැකි විය. මේ නිසා රටේ පරිපාලනය කඩතොලුවීමට පටන් ගත්තේය. පොලිසිය යන සිවිල් ආයතනය බූරුවා ගසන කාඩ් කුට්ටමක් සේ ඇනීමටත් එහා මෙහා කිරීමටත් බලයක් තිබූ දේශපාලනඥයන් එකෙක් හෝ දෙදෙනෙක් එම ආණ්ඩුවේ හොඳ නමට බොහෝ කැළැල් කළහ. පොලීසියට අයුතු බලපෑමක් කිරීමට හැකිවන පරිදි කිසියම් දේශපාලනඥයෙක් ඉස්මතු වනවිට රජයේ සෙසු පොලිස් නිලධාරීහු එකී දේශපාලනඥයා වටා රොක්වීමටත් ඔහුට ගොට්ට ඇල්ලීමටත් පටන් ගනිති. මේ නිසා පොලිස් සේවය ද ඉතා ඉක්මනින් පරිහානියට පත්විය. කිසියම් දේශපාලනඥයකුගේ අන්තේවාසිකයෙක් කසිප්පු පෙරන ලද්දේ ද, පොලීසිය විසින් එම අන්තේවාසිකයා අත්අඩංගුවට ගත්ත ද පැය 24ක් තුළ එම පොලිසියේ සිටින සියලුම නිලධාරීන් මාරු කිරීමේ හැකියාව අදාළ දේශපාලනඥයාට විය. මෙය රටක් තුළ නොසිදුවිය යුතු නරක පූර්වාදර්ශයකි. මෙවැනි විටකදී කසිප්පු මුදලාලිට පළාතේ පොලිසියේ ඕඅයිසීගේ බලය තිබේ. අන්තිමට පොලිසිය හොරුන් බවටත් කසිප්පු ජාලය පොලිසිය බවටත් පත්වන්නේය. 1977 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහවීමට බලපෑවේ පාන් පෝලිම් සහ හාල් පෝලිම් පමණක් නොවෙයි. ඒ ආණ්ඩුව රටේ පරිපාලන පද්ධතිය දූෂණය කිරීම සඳහා දේශපාලන පද්ධතිය යොදාගත් ආකාරය ද එම කඩාවැටීමට හේතු විය.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: