Gunadasa Amarasekara

19, 6 ව්‍යවස්ථා සංශෝධන රැකගන්න ජාතික සංවිධාන පෙරට

අජිත් පැරකුම් ජයසිංහ

ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් මහාචාර්ය ගුණදාස අමරස්කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීම වැළැක්වීම සඳහා පනවා තිබූ බාධකය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටියි. එසේම, ද්විත්ව පුරවැසියන්ට ඇමතිවරුන් පමණක් නොව මහබැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත්වීමට හෝ අවසර නොලැබෙන සේ නීති පණවන ලෙස ඉල්ලා සිටියි.

Translations by Creative Content Consultants

ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවට පක්ෂපාතී වන තරමටම හෝ ඊටත් වඩා වෙනත් රටකට ද පක්ෂපාතී වන බැවින්, රාජ්‍යයේ ජ්‍යේෂ්ඨ තනතුරු දැරීම ලැදියාවන් සම්බන්ධ ගැටුම් ඇතිකිරීමට හේතු වන නිසා ද්විත්ව පුරවැසියන්ට එවැනි වගකීම් ලබාදීම වරදකි. උදාහරණයක් ලෙස, ඉදිරි කාලයේදී මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් හෙවත් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ එයට සම්බන්ධ වුවහොත් ලැදියාවන් සම්බන්ධ ගැටුමක් සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳ අභියෝගයක් නිර්මාණය වේ.

මහජන සංවාදයට ඉඩ අහුරමින් ‘හදිසි පනත්’  සම්මත කිරීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදනය නැවත ඉවත් කරන ලෙස ද, විගණන කොමිසම අහෝසි කිරීමේ වරද සහ යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීමේ වරද නිවැරදි කරන ලෙස ද ජාතික සංවිධාන එකමුතුව ඉල්ලා සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තිය සංශෝධනය කිරීමේදී හත්වන උපලේඛනය ඉවත්වීම මගින් නිර්මාණය වී ඇති බෙදුම්වාදයට පක්ෂපාතී ප්‍රතිපාදනය නිවැරදි කළ යුතු බව ද ජාතික සංවිධාන එකමුතුව ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වගන්තිය පහත දැක්වේ.

මේ පරිච්ඡේදයේ දැක්වෙන යම් කිසි ධූරයකට පත් කරනු ලැබූ සෑම තැනැත්තකුම ඔහු හතරවන උපලේඛනයේ සහ හත්වන උපලේඛනයේ දැක්වෙන ප‍්‍රතිඥාව දී ඊට අත්සන් තබන්නේ නම් මිස හෝ දිවුරුම් දී ඊට අත්සන් තබන්නේ නම් මිස ස්වකීය ධූරයට අයත් කාර්යන්හි නොයෙදිය යුත්තේ ය.

එකී හත්වන උපලේඛනයේ තිබෙන ප්‍රතිඥාව මෙසේය:

…………………………………………………………………………………………………. වන මම, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද, ශ‍්‍රී ලංකාවේ දේශය තුළ වෙන ම රජයක් පිහිටුවීමට, කෙළින් ම හෝ අන්‍යාකාරයකින්, ශ‍්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ආධාර දීම, අනුබල දීම, අනුග‍්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවට ද, ගෞරව බහුමානයෙන් යුක්තව ප‍්‍රකාශ කොට ප‍්‍රතිඥා දෙමි./ දිවුරුම් දෙමි.

මෙම දිවුරුම හඳුන්වාදෙනු ලැබුවේ හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1983 අගෝස්තු මාසයේදී ය. එම සංශෝධනය යටතේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ද මෙම දිවුරුම්දීම කළ යුතු විය. එහෙත්, ඒ වන විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී සිටි, විපක්ෂ නායක ඒ. අමිර්තලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් 18දෙනාම මෙම දිවුරුම ලබාදීම ප්‍රතික්ෂේප කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, නිවාඩු නොගෙන පාර්ලිමේන්තු නොපැමිණීම නිසා ඔවුන්ට මන්ත්‍රී ධුර අහිමි විය. එසේ අහිමි වූ අය අතර ත්‍රිකුණාමලය මන්ත්‍රී ආර්. සම්බන්ධන් පමණක් නොව, කිලිනොච්චි මන්ත්‍රී වී. ආනන්දසංගරී පවා වූහ.

මෙම දිවුරුම හුදු ප්‍රකාශයක් පමණක් වුව ද එයට මෙවැනි ඉතිහාසයක් ඇති නිසා එය රැකගැනීමට සිංහල ජාතිකවාදීන් ඉදිරිපත් වීම පුදුමයට කරුණක් නොවේ.

මෙම ජාතිකවාදී යෝජනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනිවාර්යයෙන් ඉටුකළ යුතු බව අපේ ස්ථාවරයයි. ඒ වෙනුවෙන් පුරවැසියන්ගේ පූර්ණ සහයෝගය ලබාදිය යුතු ය.

ජාතික සංවිධාන එකමුතුවේ ලිපිය පහත දැක්වේ.

ජනාධිපතිතුමනි,

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව

ඔබතුමා විසින් සෞභාග්‍යයේ  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සහ ඒ මගින් රාජ්‍ය තුල පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ යුත බවට මහජනයා  අතර බලවත් අපේක්ෂාවක් ජනිත කරන ලදි. ඔබතුමාගේ අධිෂ්ඨානය ජනතාව විසින් දෙවරක්ම ඉතා ඉහළින්ම අනුමත කරන ලද්දේ ඒ නිසාය. ඔබතුමා, එදා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මෙන්, ඉතිහාසය විසින් යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් සඳහා නිර් මාණය කරන ලද චරිතයක් හෙවත් භූමිකාවකි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මගින් ව්‍යවස්ථා විප්ලවයක් සිදු කිරීම සඳහා මීට වඩා මනරම් අවස්ථාවක් ඉතිහාසය විසින් නිර් මාණය කරනු ඇතැයි සිතිය නොහැක.

අප රටේ අද සිටින සියලු විපක්ෂ බලවේග වලට මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඩුවම් ලබා දෙන්නේ ඔවුන් විසින් සිදු කළ මහා ඓතිහාසික පාවාදීම් වලට එරෙහිව අවසන් ප්‍රතිචාරයක් ලෙස යැයි අපි සිතමු. ඒ නිසා ඔබතුමාට ඉතිහාසයේ අන් කවර පාලකයෙකුටත් වඩා සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට සිදු වේ. ඔබතුමා විසින් ඉටු කළ යුතු සහ ඉතිහාසය විසින් ඉල්ලා සිටින ජාතික වගකීම් ඉටු කිරීමේදී මානසික බාධක පනවාගත යුතු බවක් ඉන් අදහස් නොවේ. ඔබතුමාට ජනතාව විසින් මහා ජනවරමක් ලබා දෙන විට අප රටේ දීර් ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රය වෙනස් කිරීමක් සිදු වූයේ නැත. ඒ සඳහා ජනවරමේ ගුණය සහ එබතුමාගේ ගුණය එක්කළ දීර් ඝ කාලීන ප්‍රතිකාරයක් අවශ්‍ය වනු ඇත. එතෙක් ඔබතුමාට ගමන යාමට සිදුවන්නේ ඔවුන් විසින් දැනුවත්ව  සහ නොදැනුවත්ව කපන ලද බොරු වලවල් මඟ හරිමිනි. ඒ නිසා අප විසින් අවධාරණය කරනු ලබන්නේ ජනතා අපේක්ෂාවන්ට ඉතා තීරණාත්මක ලෙස බලපාන ජාතික වැදගත්කමක් සහිත තීන්දු පිළිබඳව දෙවරක් සිතා බලන ලෙස පමණි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉතා බලවත් වන්නේ එම තත්වය නිසාය. එසේම නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් ඔබතුමාට කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස තීන්දු තීරණ ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අප පිළිගනිමු.

එහිදී ජනතාව විසින් පරාජයට පත් කළ බලවේග විසින් සිදු කළ වැරදි කිසිවක් ඔබ විසින් නොකළයුතු බවට විවාදයක් නැත. ඔබතුමාට ඉතිහාසය විසින් පවරා ඇති භූමිකාව වන්නේ ඔවුන් විසින් සිදු කළ යහපත් දෙයක් ඇත්නම් එය ආරක්ෂා කරන අතර ඔවන් විසින් සිදු නොකළ සහ ඔබ අපේක්ෂා කරන යහපත් දේ සිදු කිරීම යැයි අපි විශ්වාස කරමු. එම අර්ථයෙන් අප ඔබතුමාට පහත සඳහන් කරුණු අවධාරණය කරන්නෙමු. ඊට අමතරව නව ව්‍යවස්ථාවක් හෝ ප්‍රතිපත්තියක් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමේදී එහි අන්තර් ගතය තරමටම එම අන්තර් ගතයට ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයද ඉතා වැදගත් වන බවද සදහන් කරන්නෙමු.

  1. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස්කොට සියලු දේශපාලන පක්ෂ සහ බලවේග වලට දේශපාලන හැංගිමුත්තන් කෙලීමට ඉඩ නොදී ඔවුන්ගේ යෝජනා විවෘතව ඉදිරිපත් කිරීමට බල කෙරෙන ක්‍රමවේදයක් හදුන්වාදීම.
  2. නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන තෙක් වෙනත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීම. එහිදී පළාත්සභා මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව සිදු කිරීම වැදගත් වන්නේ ඉන් පසුව රටේ ජනතාවට අලුතෙන් සිතන්නට සිදුවීම නිසා මෙන්ම නව ව්‍යවස්ථාවේ නව ප්‍රතිපාදන අනුව එම බල ව්‍යුහයන් වෙනස් වීමට ඉඩ ඇති බැවිනි. ( පසුගිය වසර තුනකට අධික කාලයක් තිස්සේ පළාත්සභා රැස් නොවීම පිළිබඳව උතුරේ හෝ දකුණේ කිසිදු විරෝධයක් පැන නැඟුනේ නැත.)
  3. 20 වැනි සංශෝධනයට අදාලව පහත සදහන් තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කිරීම. ඊට අමතරව කෙටුම්පත පිළිබඳව ලිඛිතව අදහස් දැක්වීමට අමාත්‍ය මණ්ඩලයට ඉඩ ලබා දීමද වැදගත්වේ. එම කොන්දේසි සැපිරීමෙන් පසුව කෙටුම්පත නැවත සංශෝධනය කොට නව කෙටුම්පතක් ලෙස ගැසට් කිරීමද වැදගත්වේ. ඊට හේතුව එම සංශෝධන පසුව කාරකසභා අවස්ථාවේදී ඇතුල් කිරීමට උත්සාහ කළහොත් 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී සිදුවූ ආකාරයට කෙටුම්පතේ නොමැති අහිතකර සංශෝධන පවා යෝජනා වීමට ඉඩ තිබීමය.
  • නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදයට ලක්කිරීම සඳහා ලබාදී තිබූ දින 14 ක කාලය දින 7 ක් දක්වා අඩු කිරීමේ වරද නිවැරදි කිරීම.
  • මහජන සංවාදයට ඉඩ අහුරමින් ‘ හදිසි පනත් ’  සම්මත කිරීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදනය නැවත ඉවත් කිරීම.
  • 53 වන වගන්තිය සංශෝධනය කිරීමේදී 7 වැනි උපලේඛනය ඉවත්වීම මගින් නිර්මාණය වී ඇති බෙදුම්වාදයට පක්ෂපාතී ප්‍රතිපාදනය නිවැරදි කිරීම.
  • ද්විත්ව පුරවැසියන් විසින් පාර් ලිමේන්තු මන්ත්‍රීධූර දැරීම වැලැක්වීම සඳහා පනවා තිබූ බාධකය මහබැංකු අධිපති, නීතිපති,පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලත් වන ලෙස නැවත පැනවීම.
  • විගණන කොමිසම අහෝසි කිරීමේ වරද සහ යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීමේ වරද නිවැරදි කිරීම.

ඔබතුමාට තෙරුවන් සරණයි

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව.

Translations