Sri Lanka Prime Minister addressing Maldives People's Masjid

අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුවට විස්තර කළ හැටි

අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ හා කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ ආරාධනයෙන් මාලදිවයින් මහජන මස්ලිදය හෙවත් මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තුව අමතමින් 2019 සැප්තැම්බර් 3දා පවත්වන ලද කතාවේදී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරන ලද වෙනස්කම් පැහැදිලි කරන ලදී. පහත උපුටා දක්වනු ලබන්නේ එම කතාවේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විස්තර කරන කොටස් කීපයකි.

Sinhala Tamil English Translations and Content Writing

“ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තිබෙන බලය සීමා කරමින් 19වන සංශෝධනය විසින් පාර්ලිමේන්තුව තවත් ශක්තිමත් කළා. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් විසුරුවාහැරීමක් ඉල්ලා සිටින්නේ නැතිනම් ජනාධිපතිවරයාට වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට බැහැ. 2018 ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් එසේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට දරන ලද උත්සාහයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී බව තීරණය කරනු ලැබුවා.

“19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගනු ලැබූ තවත් වැදගත් පියවරක් වන්නේ ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු පහකට සීමාකිරීමයි.

“19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පූර්ණත්වයට ආසන්න නීති මුක්තියක් තිබුණා. එය ද 19වන ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සීමා කළා. ඒ අනුව, ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික හිමිකම් අධිකරණය බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පරීක්ෂා කළ හැකියි. 2018දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද මෙම විධිවිධානය යටතේයි.

“19වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයන් නිසායි. නිදසුනක් ලෙස, 2013දී එවකට අග්‍ර විනිශ්චයකාර වූ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරනු ලැබුවේ විධිමත් දෝෂාභියෝග ක්‍රියාවලියකින් තොරවයි. ඒ හා සමානව, රාජ්‍ය සේවය සහ පොලිසිය දේශපාලනීකරණය ද ඉහළ ගියා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කළා.

“මෙම ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින්. අග්‍ර විනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ද පත්කිරීම් අනුමත කරන්නේ ව්‍යවස්ථාදායක සභාව විසිනුයි. වර්තමානයේදී, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන නම් විකල්ප නිර්දේශ සමග ඔහු වෙත ආපසු යැවී‍මේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්න් කතානායක, අගමැති, විපක්ෂ නායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනෙකුගෙනුයි.”

ආංශික අධීක්ෂණ කාරක සභා හඳුන්වා දීම මගින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කටයුතු ශක්තිමත් කරන ලද බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් පිහිටුවන ලද බව ද අගමැතිවරයා පැවසී ය. එමගින් පාර්ලිමේන්තුවේ සම්මත වන නීති යෙදවෙන ආකාරය විශ්ලේෂණය, තක්සේරුව සහ ඇගයීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඵලදායිතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට උපකාර කරන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේ ය. සියලු පනත්, යෝජනා සම්මතයන්, ගිවිසුම් සහ වාර්තා පාර්ලිමේන්තුව විසින් සලකාබැලීමට පෙර අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරනු ලැබේ.

“ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යන්තර මූලධර්මයක්. එය ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික හිමිකමක් බවට පත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත ලොව එවැනි ශක්තිමත් ම නීති අතරින් එකක් ලෙස පිළිගැනෙනවා.

“එහෙත්, නීතිවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ නැහැ. නීති අහෝසි කිරීමට හෝ නොතකා හැරීමට හෝ පුළුවන්. ප්‍රධාන ප්‍රජාතාන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සහ ඒවායේ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ද අවශ්‍යයි. කලින් සඳහන් කරන ලද ව්‍යවස්ථාදායක සභාව මගින් අපි මෙම ආයතනවල ස්වාධීනත්වය දිනාගත්තා. ඒවාට පත් කරනු ලබන අය තවදුරටත් විධායකයේ බලපෑම්වලට යටත් වන්නේ නැහැ. ඔවුන්ට ස්වාධීනව ක්‍රියා කිරීමේ අවකාශ්‍ය ලැබී තිබෙනවා.

“ඒ වුණත්, අභියෝග අවසන් නැහැ. නිදසුනක් ලෙස, වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් හරහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අපහරණය කිරීම අලුතෙන් මතු වූ තර්ජනයක්. සමාජ මාධ්‍ය මැවුම්කරු සහ විනාශ කරන්නා ද වන අතීත දෙවියකු වගෙයි. එයට නිදහසේ පණිවුඩය පැතිරවීම වගේ ම විනාශයට පොළඹවන පරිදි භාව ප්‍රකෝප කිරීමද සිදුකළ හැකියි. එය සයිබර් අවකාශයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක්. පාර්ලිමේන්තු දහසකට ගිනි තියන හිට්ලර්ලා දහසක් නිර්මාණය කිරීමේ හැකියාව එයට තිබෙනවා.

“ප්‍රවෘත්ති ප්‍රජාතන්ත්‍රීයකරණය සහ හානි සිදුවීම වැළැක්වීමේ නීතිමය වගකීම අතර තුලනයක් සොයාගැනීම අප, ඔබ සහ බොහෝ රටවල්වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙන සංකීර්ණ ප්‍රශ්නයක්. අවසාන විසඳුම වන්නේ, අන්තර්ජාලය සහ වෙබ් විසින් නිර්මාණය කරනු ලබන නිදහස පිළිබඳ මෙන් ම තර්ජන පිළිබඳ ද දැනුවත් උගත් මහජනතාවක් නිර්මාණය කරගැනීමයි.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.