Yoshitha Rajapaksa at Nuwaraeliya

හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?

2019 අප්‍රේල් 21 පාස්කු ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මිනී මැරීමට තැත්කිරීම ඇතුළු චෝදනා 1,728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර තිබේ.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරණ මෙම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන්  ඉල්ලීමක් කර තිබේ.

නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම, 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීම පිළිබඳ චෝදනා ගොනුකරනු ලැබේ. නීතිපතිවරයා මීට පෙර මෙම නිලධාරීන්ට එරෙහිව මීටත් වඩා බරපතල චෝදනා එල්ල කිරීමට නිර්දේශ කළේය. කියවන්න: පූජිත්ට හේමසිරිට මරණ දඬුවම ලැබිය හැකි හේතු

රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම, වගකීම් පැහැරහැරීම හා වැරදි සිදුවීමට ඉඩදීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ලකිරීම යහපත් ප්‍රවණතාවකි. එහෙත්, එවකට ආරක්ෂක ඇමති ධුරය දැරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මුක්තිය ලැබීම දැඩි අසාධාරණයක් වන අතර, මෙම පුද්ගලයන්ට එය වාසියක් වන්නට ඉඩ තිබේ.

ඊයේ කෝවිඩ්-19 හේතුවෙන් මරණ 13ක් සිදුවිය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කෝවිඩ්-19 දත්ත පුවරුවට අනුව, මේ වන විට මරණ සංඛ්‍යාව 709කි.

පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට පෙර සිටම, ශ්‍රී ලංකාවේ නව කෝවිඩ්-19 ප්‍රභේදයක් පැතිර යමින් තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය නායකත්වයට අනතුරු අඟවා තිබිණි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ රජය සංචරණය සීමා කිරීමට කටයුතු නොකළා පමණක් නොව, රජයේ රූපවාහිනිය හරහා නුවරඑළියේ වසන්ත සැණකෙළිය ප්‍රවර්ධනය ද කළේය. අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ මුහුණු ආවරණ නොමැතිව උත්සවවලට සහභාගි වෙමින් ඡායාරූප ප්‍රසිද්ධ කළේය. ජාතික කොරෝනා මර්දන කාර්යසාධන බලකායේ ප්‍රධානියා වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මුඛ ආවරණ නොමැතිව විවාහ මංගලෝත්සවවලට සහභාගී වන ඡායාරූප ගණනාවක් පසුගිය දිනවල ප්‍රසිද්ධ විය.

රජයේ ඇමතිවරියක හා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින්ම පවසන ලද පරිදි රට සති දෙකකට පමණ ලොක්ඩවුන් කිරීමට කරන ලද යෝජනා රාජ්‍ය නායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතු කරන ආකාරය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පැවති රජය කටයුතු කළ ආකාරයට බොහෝ සමානය. මේ නොසැලකිලිමත්කම නිසා සිදුවන මරණවලට ඔවුන් වගකියනවාද?

මෙහිදී ඉහත දක්වන ලද දණ්ඩ නීති සංග්‍රහයේ අංක 296 හා 300 වගන්තිවලට අමතරව පහත දැක්වෙන වගන්ති ද අදාළ විය හැකිය.

298 වගන්තිය: නොසැලකිල්ල නිසා මරණ සිදුකිරීම සම්බන්ධයෙන් වන අතර වසර පහ දක්වා සිර දඬුවම් හෝ දඩ හෝ දෙක ම නියම කළ හැකිය.

327 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළීම හා සම්බන්ධ ය. මාස තුන දක්වා සිර දඬුවම් හෝ රු. 100 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකිය.

328 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මාස හය දක්වා සිර දඬුවම් හෝ රු. 100 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකිය.

329 වගන්තිය: අපරීක්ෂාකාරී ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ කටයුතු කිරීමෙන් වෙනත් අයගේ ජීවිත හා පෞද්ගලික ආරක්ෂාව අනතුරේ හෙළා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවුරුදු දෙක දක්වා සිර දඬුවම් හෝ රු. 1000 දක්වා දඩ හෝ දෙක ම නියම කළ හැකිය.

410 වගන්තිය: අපකාරය හෙවත් පීඩාකාරී ක්‍රියා සම්බන්ධය. එමගින් රු. 50ට වඩා හානියක් සිදු කර තිබේ නම්, වසර දෙක දක්වා සිරදඬුවම් හෝ දඩ හෝ දෙක ම නියම කළ හැකි ය.

එකක් පැහැදිලිය. සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. දේශපාලකයන් ඔවුන් අතරමං කර නිහඬ වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය.

Creative Content Consultants