Mahinda Rajapaksa and Sarath Nanda Silva

හෙල්පිං හම්බන්තොට සිට බේබි-81 දක්වා සුනාමි වංචා

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ.

සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.

මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. 

දේශපාලන බලපෑමක් මත පොලිසිය එම නඩුව පැවරීමට උත්සාහ කළ බව කියමින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් නඩුව පිළිගත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් ගෙවන මෙන් පැමිණිලිකරු කබීර් හෂීම් මන්ත්‍රීවරයාට, එවක පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුට සහ එවක රහස් පොලිසියේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සරත් නන්ද සිල්වා 2014 වසරේ ප්‍රසිද්ධ සභාවකදී සමාව ඉල්ලා සිටියේ ය. 

තිස්දහසක් ශ්‍රී ලාංකිකයන්ට මරු කැඳවමින්, ලක්ෂ ගණනක් ජනයා අවතැන් කරමින් සිදු වූ සුනාමි ව්‍යසනය පිළිබඳ කම්පා වී ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල ත්‍යාගශීලීන් විසින් එවන ලද ඩොලර් කෝටි ගණනක් ලංකාවේ සංසරණය  විය. රුපියලේ අගය පවා මෙම ව්‍යසනයෙන් පසුව ඉහළ ගියේය. එතරම් සල්ලි ගැලුවේය. එහෙත් ගැලූ සල්ලි වැඩිහරියක් පිල්ලි ගියේය.

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ලොකු ඒරියල් සවි කළ එස්යූවී වාහනවලින් පිඹින්නට පටන් ගත්තේය. දේශීය රාජ්‍ය නොවන සංවිධාන ද සුනාමියෙන් විපතට පත් ජනයාට ආධාර කරන මුවාවෙන් විවිධ විකාර කළහ. නිවෙස් නැති වූ මිනිසුන්ට ගෙයක් හදාදෙන්නට මුදල් වැය කළ පිරිස අල්පය. මා දන්නා එක් රාජ්‍ය නොවන සංවිධානයක් සුනාමියෙන් පසු සංවර්ධනය සිදු විය යුත්තේ කෙසේදැයි රට පුරා තම අනුගාමිකයන් සමග සාකච්ඡා පවත්වා වාර්තාවක් පළ කළේය. බිත්තියක් දිගට පළලට ගොඩගසා තිබුණු මෙම වාර්තාවේ පිටපත් පසුව පරණ කඩදාසිවලට විකුණා දමන ලදී.

සුනාමියෙන් විපතට පත් ජනයා විකුණාගෙන කෑම ජාත්‍යන්තර එකක් විය.

සුනාමි අවස්ථාවේදී මව්පියන් මගහැරී අතරමං වී දිවි ගලවාගෙන සිටියදී අසල්වැසියකු විසින් රෝහල්ගත කරන ලද ‘බේබි 81’ ලෙස නම් කරන ලද දරුවාගේ කතාව දෙස් විදෙස් මාධ්‍ය හා තවත් ව්‍යාපාරිකයන් විසින් විකුණාගන්නා ලදී. දිවි බේරාගෙන දරුවන් සොයා පැමිණි මව්පියන් විසින් අයිතිය ඉල්ලා කරන ලද සටනක් හේතුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත් මෙම දරුවාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් සැබෑ මව්පියන් හඳුනාගන්නා ලදී. ‘බේබි 81’ ලෙස ප්‍රසිද්ධ වූයේ කල්මුණේ අභිලාෂ් නම් දරුවෙකි.

බේබි 81 හා මව්පියන්

‍අභිලාෂ්ගේ අයිතිය පතා මව්වරුන් නවයක් සටන් කළ බවට එකල මාධ්‍ය වාර්තා පළවිය. එහෙත්, එය මාධ්‍ය විසින් ගොතන ලද බොරුවක් බව දැන් හෙළි වී තිබේ. එයින් ඒ දෙමව්පියන් හා දරුවා විඳි පීඩාව අපමණ ය.

ඇමරිකාවේ NBC රූපවාහිනිය ඔවුන්ගේ Good Morning America නම් වැඩසටහනට මෙම පවුල කැඳවා ගත් මුත් එම වැඩසටහනවෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙව්වේ නැත.

ඇමරිකාවේ Black Rebel Motorcycle Club නම් රොක් සංගීත කණ්ඩායම 2007දී නිකුත් කළ ‘බේබි 81’ නම් ගීත එකතුව මුල් සතිය තුළ පමණක් පිටපත් 14,000ක් විකිණුනේ අභිලාෂ් නිසා ය. එහෙත් ඔවුන්ට කිසිවක් හිමි වූයේ නැත.

ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නො වන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බව ද ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තා කළේ 2009දී ය.

සුනාමියෙන් සැබැවින් විපතට පත්ව දිවි බේරාගත් බොහෝ මිනිසුන්ගේ ජීවිත තවමත් පූර්ණ ලෙස යථා තත්වයට පත් වී නැත. සුනාමියෙන් විපතට පත් උතුරු නැගෙනහිර බොහෝ ජනයා පසුව යුද්ධය නිසා ද නැවත නැවත විපතට පත්වූහ. සුනාමිය නිසා ප්‍රියයන් අහිමි වූ, දේපල අහිමි වූ මිනිසුන්ගේ ජීවිත එයින් මුළුමනින්ම අඩාල විය. එහෙත්, සුනාමිය තවත් පිරිසකට ධන සුනාමියක් විය. සුනාමි සහන මුවාවෙන් විවිධ අරමුදල් පිහිටුවා සම්මාදම් කරගත් ධනයට සිදු වූ දේ බොහෝ අය පෙන්වා දුන්නේ නැත. සමූහ වංචාවක් තුළ සියලු දෙනා සුවෙන් සිටිති.

සුනාමි ආධාරවලින් ඇත්තටම සිදු වූ දේ ගැන කිසියම් ආයතනයක් විසින් දැන්වත් පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතුය.