cartoon by Ajith Perakum Jayasinghe

සීතගෙ කුඩේ හා සීතාම්බරපට

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 ඔක්තෝබර් 4

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට එරෙහිව සමාජ මාධ්‍යවල දැවැන්ත විරෝධයක් පැනනැගී තිබේ. මෙම විරෝධය ප්‍රධාන වශයෙන් ම මතු වී තිබෙන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඇගේ පෞද්ගලික පරිහරණය සඳහා කුඩයක් සහ විදුලි ලාම්පුවක් ඉල්ලා සිටීමයි.

Translations by Creative Content Consultants

මේවා වනාහි ඇත්ත වශයෙන්ම නිල රථයක රියදුරාට ලබාදෙන ඒවාය. ඒ උපකරණ වෙනුවෙන් යන වියදම ඇමතිවරයකු නඩත්තු කිරීමට යන වියදම සමග සාපේක්ෂව බැලූ කල අවමය. ඒ සම්බන්ධ විවේචනය එල්ල වන්නේ ධනවත් විශේෂඥ වෛද්‍යවරියකව සිටි ඇයට කුඩයක්වත් මිල දී ගන්නට බැරිද යන බොළඳ පදනමකිනි. නිල වාහනයක් සඳහා කුඩයක් හා විදුලි පන්දමක් ලබාගැනීම සඳහා ඇමතිනියකගේ පෞද්ගලික ලේකම්වරයකු ලියුමක් ලිවිය යුතු නැත. එය ලිවිය යුත්තේ රියදුරා විසිනි.

සීතා අරඹෙපොලගේ පෞද්ගලික ලේකම්වරයා විසින් යොමු කරන ලද ලිපියෙන් අයිපෑඩ් එකක් හා අයිෆෝන් එකක් ද ඉල්ලා තිබේ. ඇමතිවරයකුට මෙම උපකරණ අවශ්‍යය. එහෙත්, ඒවා ඇපල් ම විය යුතු නැත. ලංකාවේ බොහෝ අයට ඇපල් යනු ප්‍රදර්ශනාත්මක භාණ්ඩයකි. රජයක් සන්නාම වෙනුවෙන් මහජන මුදල් වියදම් කළ යුතු නැත. එහෙත්, ඇමතිවරියට හොඳ මට්ටමෙන් එම උපකරණ ලබාදිය යුතුය. අවශ්‍යතාව අනුව ඇපල් දුන්නත් කමක් නැත.

මෙම ලිපියෙහි කිසිදු විශේෂත්වයක් නැත. එහෙත්, එය අදාළ රජයේ අමාත්‍යාංශයෙන් එදාම පිට වී සමාජ මාධ්‍යවලට පැමිණ ඇත. අමාත්‍යාංශ ඇතුළු රජයේ කාර්යාලවල විශ්වසනීයත්වය කෙතරම්ද? දේශපාලනයට ආධුනික කාන්තාවක වන අරඹෙපොල සිය මාධ්‍ය ලේකම්වරයා ලවා හැරෙන තැපෑලෙන් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළාය. අක්ෂර වින්‍යාස හා යතුරුලියන දෝෂ සහිත මෙම ‘මාධ්‍ය’ නිවේදනයෙන් ඇය පවසන්නේ ඒවා ලේඛනගත භාණ්ඩ නිසා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකුගේ ඉල්ලීම මත එකී භාණ්ඩ ලබාදීම සඳහා ලිපියක් යොමු කළ බවයි. ඒවා කලින් ඇමතිවරයා විසින් භාවිතා කර භාර දුන් ඒවා බව ද එයින් කියැවේ. ඇමතිවරයකුට යම් වරප්‍රසාදයක් හිමි වේ නම්, එය ලබාගැනීමට ඇමතිවරයා කණිෂ්ඨ නිලධාරියකුට ලියුම් ලිවිය යුතුද? ඇමතිවරයකුගේ තත්වය එය නම් සාමාන්‍ය ජනයා රජයේ කාර්යාලයකින් සේවයක් ලබාගන්නට ගිය විට කුමන තත්වයකට මුහුණ දෙනු ඇද්ද?

ආධුනික ඇමතිවරිය මෙවැනි ප්‍රතිචාර ලිපියක් ලිවීමෙන් ඇය හාස්‍යයට ලක්වීම තවත් වැඩි විය. බලයට පත් වී මෙතරම් කෙටි කලකින් මේ තරමට සමාජයේ විරෝධයට හා සාධාරණ හෝ අසාධාරණ හෝ හාස්‍යයට මැති ඇමතිවරුන් ලක්වන්නේ ඇයි ද යන්න ද සිහිබුද්ධියෙන් කල්පනා කළ යුතු කාරණයකි. අසාධාරණ හාස්‍යය යනු උපහාසයෙන් මතු වන දෙයක් නොව වෛරයෙන් මතුවන්නකි.

මෙම සිද්ධිය සම්බන්ධව මතු වූ බරපතල ම කරුණ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා හිමිකම් සමග සම්බන්ධය. ඇමතිවරියට පෑඩ් හෙවත් සනීපාරක්ෂක තුවා ද ලබා දිය යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ තවත් අය විසින් පවසන ලදී. පසුගිය ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කළ විට සීතා අරඹෙපොලලා නියෝජනය කරන පක්ෂය විසින් ඇය නියෝජනය කරන වියත් මගේ කාන්තාවන් පවා දමමින් ඔහුට නින්දිත අන්දමින් පහර දෙන ලදී. එහෙත්, එසේ කීමෙන් සීතා අරඹෙපොලට එරෙහි ලිංගවාදී ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකිය. සීතාට පෑඩ් දෙන්නැයි ඔවුන් කියන්නේ පුරුෂෝත්තමවාදී හා ස්ත්‍රීන් පහත්කොට සලකන ස්ථාවරයකින් යයි චෝදනා කළ හැකිය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය හා ජනතා විමුක්ති පෙරමුණ අතර මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ගැටුමක් තිබෙන බව පෙන්වන්නට උත්සාහ කරන ව්‍යාජ පුවත් හා පෝස්ට් රැසක් පසුගිය කාලයේ දුටුවෙමි. හරිනි අමරසූරියට එරෙහිව මතු වන විරෝධය යට ද සියුම් අන්දමින් ක්‍රියාත්මක වන පුරුෂෝත්තමවාදය දැකිය හැකිය.

මෙහි සාමාන්‍ය දේශපාලන ගැටුම් ඉක්මවා යන විශේෂ තත්වයක් ඇති බව අපේ නිරීක්ෂණයයි. එය කාන්තා පාර්ලිමේන්තු නියෝජනයට එරෙහි ප්‍රවණතාවකි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ කාන්තාවන් සංඛ්‍යාව අවමයි. ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීන් 189ක් අතර කාන්තාවන් සිටියේ අටදෙනෙකු පමණයි. ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් සිව්දෙනෙකු පත්කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 12ක් දක්වා වැඩි විය. මෙය ප්‍රතිශතයක් ලෙස 5.3%කි. එහෙත්, ලංකාවේ ජනගහනයේ කාන්තා ප්‍රතිශතය 52%කි. මෙම තත්වය වෙනස් කරන්නට නම් කාන්තාවන් දේශපාලනයට යොමු විය යුතුය. මැතිවරණ තරග කළ යුතුය. එහෙත්, කාන්තාවන් දේශපාලනයට යොමු නොවන්නේ ඇයි? මෙවැනි ලිංගවාදී ප්‍රහාර එයට එක් හේතුවකි.

සීතගෙ කුඩේ හා හරිනිගෙ පර්මිට් එක හරහා කුඩේ කුඩු වන්නේ දේශපාලනයේ, මාධ්‍යවල, සමාජ මාධ්‍යවල හා සමස්ත සමාජයේම පවත්නා පුරුෂෝත්තමවාදයේ හෙළුව වසාගත් ඊනියා ප්‍රගතිශීලී ආවරණයි.

Translations