President Gotabhaya with Siri Samanthabhadra Thero

සමන්තභද්‍ර හිමිගේ ඉවැන්ජලික බුද්ධාගම, ජනාධිපති ගෝඨාභය හා ඉරාජ්

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි යනු බුද්ධාගමේ නව ඇදහිල්ලක් ප්‍රවර්ධනය කරන අයෙකි. තමන් රහත්භාවය ලබාගෙන ඇති බවට ඔහු කරන ප්‍රකාශය පිළිගැනීමට ගතානුගතික බෞද්ධයන් කැමති නැත. ඔහුගේ අසපුවේ සිදු වන ක්‍රියා ගතානුගතික බෞද්ධයන්ගේ දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, ඔහුට පුණ්‍යාධාර ගලා එන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුගේ ඇදහිල්ල ආගමික වෙළඳපොළේ ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති බවයි.

Translations by Creative Content Consultants

බුදු දහම වැනි ප්‍රජාතාන්ත්‍රික හරයක් සහිත ආගමික පසුබිමක් තුළ එවැනි භාවිතාවන් සඳහා ඕනෑම අයෙකුට නිදහස තිබිය යුතු ය. මහායාන, ථෙරවාද ධාරා මෙන් ම සෙන් වැනි විවිධ ඇදහිලි ස්වරූප පැනනැගුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

එසේම, ඕනෑම අයෙකුට ගතානුගතික බුදු දහම ඇදහීම මෙන් ම ඕනෑ නම් මුල් බුදු සමය සොයා යාම ද කිරීමේ නිදහස ද තිබිය යුතු ය.

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ඇදහිල්ල ගතානුගතික බුද්ධාගමේ වෛරයට පාත්‍ර වී තිබෙන අතර, ඔහුට මහනායක හිමිවරුන් හමුවේ සමාව ගැනීමට ද බල කෙරිණි.

ගෞතම බුදුන් ඉපැදුණේ ශ්‍රී ලංකාවේ යයි ප්‍රවර්ධනය කරන ඇදහිල්ලක් ද තිබෙන අතර, ඔවුන් විසින් බෞද්ධ ඉතිහාසය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රතිඅර්ථකථනය ද වෛරයට පාත්‍ර වී තිබේ.

කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියකුව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරි සමන්තභද්‍ර හිමිගේ අසපුවේ උත්සවයක සුවිශේෂ අමුත්තකු වීම ආගමික දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමකි.

ඇමරිකා එක්සත් ජනපදය ගතානුගතික ක්‍රිස්තියානියට වඩා වෙනස් ඉවැන්ජලික හෙවත් සුබාරංචි ක්‍රිස්තියානියේ තිඹිරි ගෙයකි. එම ආගම් ලොව පුරා ප්‍රචාරය සඳහා ඇමරිකාවෙන් විශාල මුදල් පොම්ප කිරීමක් සිදු වේ.

මෙම සුභාරංචි ඇදහිලි නූතන පාරිභෝජනවාදී ජීවන විලාසයන් සමග ආකර්ශනීය වේ. ප්‍රාතිහාර්ය, දේව බලය ආදිය හරහා පහසු හා සුඛෝපභෝගී ජීවිත උදාකරගැනීමට කැමති, විස්මිත ලෙස ලෙඩ සුව කරගැනීමට කැමති නූතන පාරිභෝජනවාදී සමාජය තුළ එවැනි ආගම් ඉතා ජනප්‍රිය ය.

සිරි සමන්තභද්‍ර හිමිගේ ඇදහිල්ල වැනි බෞද්ධ ඇදහිලි විසින් ද ප්‍රවර්ධනය කරනු ලබන්නේ එවැනි කාමසුඛල්ලිඛානුයෝගී, පාරිභෝජනවාදී, සාටෝප දිවි පෙවතකි.

මෙවැනි ජීවන විලාසයන්ට, ආගම්වලට, ඇදහිලිවලට, වෙදකම්වලට, කට්ටඩි වැඩවලට හා වෙනත් මිථ්‍යාවන් ආදියට ලොල් වීම රාජපක්ෂ පවුලේ, විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ තුළ දැකිය හැකි ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එයට ඇමරිකන් රසයක් එකතු කරගත් අයෙකි.

19වන සියවස අගභාගයේදී හා 20වන සියවස මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පරමවිඥානාර්ථ සමාගම විසින් කරන ලද කාර්යභාරය ද මෙහිදී සිහිපත් කරගත යුතු ය. එතෙක් පැවිති සරල බෞද්ධ භාවිතාවන් වෙනුවට සංදර්ශනාත්මක භාවිතාවන් වන, වෙසක් පහන්, වෙසක් කාඩ්, තොරන්, ඔලුබක්කන් නැටීම්, වෙසක් කැරොල් ආදිය ව්‍යාප්ත වූයේ ඒ සමග ය. මේවා ක්‍රිස්තියානි භාවිතාවන් ගෙඩි පිටින් අනුකරණය කිරීම් ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා සිරි සමන්තභද්‍ර හිමි පෙනී සිටින මෙම ඡායාරූපය දේශපාලන අරුත් රැසකින් යුක්ත බව අප පවසන්නේ ඒ නිසා ය. එහි පසෙකින් සිටින ඉරාජ් වීරරත්න නියෝජනය කරන්නේ අනාගත බෞද්ධ උපාසකයා විය හැකි ය.

කිසිදු විනිශ්චයකින් තොරව මෙවැනි සිදුවීම් හරහා ආගමික දේශපාලනයේ සිදුවන පරිණාමය විමසිල්ලෙන් අධ්‍යයනය කළ යුතු ය. අප කරන්නේ එයයි.

Translations