JVP farmers

සජබ පසුබස්වමින් ජවිපෙ ඉදිරියට

අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුවට එරෙහි අරගලයේදී ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය පසුබස්වමින් වේගයෙන් ඉදිරියට එමින් සිටිනවා. මේ බලවේග දෙකටම අවශ්‍ය වී තිබෙන්නේ තනි බලයක් පිහිටුවීමයි. ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. වාමාංශික, නව ලිබරල් සන්ධාන ප්‍රායෝගික නැහැ. එවැනි පොදු වැඩපිළිවෙලවල් ගැන රනිල් වික්‍රමසිංහ වැනි අය ඉදිරිපත් කරන අදහස් ක්‍රියාත්මක කළ යුත්තේ වෙනමයි. ඒවා මුහුණදෙන මූලිකම අභියෝගය වන්නේ ඒවා සාර්ථක වන්නේ වත්මන් පාලනය පළවාහැරීමේදී පමණක් බවයි. එතනින් එහාට ආණ්ඩුකරණයහවුලේ කිරීම කිසි සේත්ම සාර්ථක වන්නට තිබෙන ඉඩ අඩුයි. එවැනි වැඩපිළිවෙලකට නායකත්වය දිය හැකි නායක පෞරුෂයන් ලංකාවට නැහැ.

රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ආකාරයේ ජාතික වැඩපිළිවෙලකට ඔවුන් එකඟ නොවන බව පැහැදිලියි. මේ වන විට ජවිපෙ ආණ්ඩුවට අවසන් ප්‍රහාරය එල්ලකිරීම සඳහා සූදානම් තත්වයක ඉන්නවා. අර්බුදය තීව්‍ර වන විට මහජන සහයෝගය බලමුළුගන්වාගැනීමට ඔවුන්ට හැකි වේවි. බොහෝ විට, විප්ලවයක් සිදුවෙන්නට තමයි ඉඩ වැඩි. මෙය නරක තත්වයක් නෙමෙයි.

මේ අතර ජවිපෙ ප්‍රචාරක බලකාය උත්සාහ කරන්නේ ජවිපෙ ඉතා පිරිසිදු බලවේගයක් බව හුවාදක්වන්නටයි. ඒ සඳහා ඔවුන් පසුගිය වසර 74ක සියලු පාලකයන් විවේචනය කරන්නේ හරියට ඔවුන් කිසිදු අයුරකින් පාලනයට සම්බන්ධ නොවුණා වගෙයි. ජවිපෙට සහාය දෙන අය මේ කාරණාත් පැහැදිලි කරගෙන සිදුකළ යුතුයි.

1971, 1989 කැරැලිවලින් රටේ ආර්ථිකයට, සමාජයට හා විශේෂයෙන්ම මානව සම්පතට ජවිපෙ කරපු හානිය අතිවිශාලයි. දකුණට නායකයන් නැතිවෙන්නට ප්‍රධාන හේතුව ඒ කාලයේ ජවිපෙත්, හමුදාවත්, පොලිසියත්, ආණ්ඩුවත්, ප්‍රා වගේ වාමාංශික අන්තවාදීනුත් එක්ව නිර්මාණය කරපු ඝාතන සංස්කෘතිය. උතුරට හා නැගෙනහිරට නායකයන් නැති කළේ ඔය විදියටම කොටි සංවිධානය හා හමුදාව එක්ව කළ ඝාතන.

2005දී මහින්ද රාජපක්ෂ බලයට ගෙනත් රට විතරක් නෙමෙයි සමස්ත සමාජ සංස්කෘතියම විනාශ කරන්නට මුල්වුණේ ජවිපෙ. දැන් ඒක නිවැරදි කරන්නට අපි ඕනැ නම් සහාය දෙන්නම්. එහෙම නැතුව බොරු පිරිසිදුකම්, අවංකකම් ගැන කතාකරන්න එපා. ඒවට කවුරුවත් රැවටෙන්නෙ නැහැ.

ජනතාව රවටන්න හදන්න එපා. මෙතන ලොකු අභියෝගයක් තියෙනවා. බලය ගත්තට ජවිපෙ දැන් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තිවලින් රට ගොඩගන්නට බැහැ. හැබැයි, ප්‍රතිපත්ති වෙනස් කරගන්නට ජවිපෙට පුළුවන්. නායකත්වය සුපිළිපන්ය කියන එකත් ජවිපෙට තියෙන ශක්තියක්. ඒ වුණත්, ජවිපෙ නායකත්වය බුද්ධිමත් නැහැ. මේ රැල්ලෙදිත් ජවිපෙ වටා එකතු වෙන්නෙ වෙන පක්ෂ වටේ එකතු වෙන ජාතියෙම තක්කඩි ටිකක් තමයි. 2004දීත් මේ වගේම වුණා. ජවිපෙ කරට පය තියලා පාර්ලිමේන්තු ගිය නිකමුන්ගෙන් වැඩිදෙනෙක් 2015 වන විට රාජපක්ෂ වලව්වේ බත්බැලයන්. විමල් වීරවංශ වැනි අය රාජ්‍ය සම්පත් පවුලේ අය අතර බෙදාගත් හැටි ප්‍රසිද්ධ රහස්. අප්‍රකට රාජ්‍ය නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. ඔය ධර්මසිරි කාරියවසම්, උදයසිරි කාරියවසම් වැනි අය රාජපක්ෂ පවුලට සෙට් වුණේ 2004දී ජවිපෙ කරට පය තියලා ගොඩවෙලායි. එවැනි විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. අදක්ෂකම හා අවස්ථා නොමැතිකම නිසා විකල්ප පත්තරවල කුරුටුගාමින් සිටි ධර්මසිරි කාරියවසම් වැනි අය ලොකු තනතුරුවලට ගියේ ජවිපෙ නිසා. මෙවැනි තවත් විශාල පිරිසක් විශේෂයෙන්ම ජාතික ජන බලවේගය පසුපස කුරගානවා, ෂෝට්කට් හොයාගෙන. කලින් ජවිපෙ කරේ එල්ලිලා තමන්ගෙ ගමන ගිය එවුනුත් ආපහු සෙට්වෙන්නට ඉඩ තියෙනවා.

ජවිපෙට ඇතැම්විටදැනටමත් චීනය සහාය දෙනවා ඇති. ඒත්, ජවිපෙ ඉන්දියානු විරෝධයකට තල්ලු වීම අවදානම්. ජවිපෙ බලය ගත්තත්, ජවිපෙට බලය පවත්වාගැනීම දුෂ්කර බව අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා ජවිපෙ ඉන්දියානු විරෝධය අත්හළ යුතුයි. ලංකාව චීනය දෙසට තවදුරටත් තල්ලුකිරීම අවාසිදායකයි.

ආර්ථිකය ගොඩගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගවලට මහජන සහාය දිනාගැනීම සඳහා විධිමත් මහජන අධ්‍යාපනික හා සන්නිවේදන මෙහෙයුමක් අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ වටා දැනට රොක් වී සිටින මාධ්‍ය පණ්ඩිතයන් ටික ඒක කරයි කියා බලාපොරොත්තු වෙනවා නම් සොරි ඩොට් කොම් තමයි. උන් තමයි ඉක්මණින්ම ජවිපෙට වල කපන්නෙ. ඔතනත් සැලකිය යුතු පිරිසක් බලා ඉන්නෙ ජවිපෙ ආණ්ඩුවක් ආවාම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට රිංගගන්න.

ජවිපෙට ප්‍රධාන ශක්තිය සපයන්නේ පළිගැනීමේ මානසිකත්වය බව පැහැදිලියි. රාජපක්ෂ පවුල ඇතුළු රට විනාශකිරීමට දායක වූ බලවේගවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ජවිපෙ පෙළඹේවි. ජවිපෙ ඔවුන් විසින් පැහැරගන්නා ලද දේපළ ආපසු රජයට පවරාගත යුතුයි. එහෙත්, රටින් පිට ඔවුන් විසින් සඟවන ලද ධනය ආපසු ලබාගන්නට ජවිපෙට දුෂ්කරයි.

බලය ලබාගත් වහාම ජවිපෙ තම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යථාර්ථවාදී සමාලෝචනයක් සිදුකරගත යුතුයි. ලංකාවේ ප්‍රධාන ගැටලුව අන් කිසිවක් නොවෙයි රජයම තමයි. ලංකාව දැවැන්ත අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමේ අවසාන අන්තයට පැමිණ තිබෙනවා. තවදුරටත් එහි අකාර්යක්ෂමතාව එක්ක හැපෙමින් මේ රටට අඟලක්වත් ඉදිරියට යන්නට බැහැ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇතිකිරීම පහසුත් නැහැ. එය දීර්ඝකාලීන අභියෝගයක්. රාජ්‍ය සේවය ඵලදායීතාව දෙසට නම්නීකරණය කිරීම පවා අවුරුදු ගණනාවක් ගතවන වැඩක්. ජවිපෙ විසින් කළ යුතුව තිබෙන මූලිකම පරිවර්තනයක් වන්නේ මේ රාජ්‍ය කේන්ද්‍රීය මධ්‍යම පන්තිය සැනසීම වෙනුවට වැඩකරන ජනයා හා ව්‍යවසායකයන් ශක්තිමත් කරන ප්‍රතිපත්තියකට මාරුවීමයි. බලය ස්ථාවර කරගන්නට පුළුවන් වන්නේ එවිටයි. රාජ්‍ය වැය ශීර්ෂයෙන් විශාලතම පංගුව නාස්ති කරමින් නිකං කකා සංදර්ශන පවත්වමින් සිටින හමුදා ඵලදායී වැඩකට යෙදවීම මෙහිදී අත්‍යවශ්‍යයි.