S.W.R.D. Bandaranaike

ශ්‍රීලනිපය මෙතනින් කොතැනට ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක් ද යන්න තවමත් ප්‍රශ්නයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා ද? නැතිනම් ජනාධිපති අපේක්ෂකයා කුමාර් වෙල්ගම ද? සජිත් ප්‍රේමදාස සමග එකතු වී ජනාධිපතිවරණය තරග කිරීමට ඔහුගේ සැලසුමක් තිබුණා ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කරන ලද සාකච්ඡාවල තත්වය කුමක් ද? මෙම පක්ෂ දෙක අතර සන්ධානයක් ඇති වීමේ ඉඩක් තවමත් තිබේ ද? එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වන තැන කුමක් ද?

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

මේ ප්‍රශ්න තවමත් විසඳී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු අභිරහසකි.

වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ ශ්‍රීලනිපය වන මුත්, ඔහුට නැවත තේරී පත් වීමට හෝ ශ්‍රීලනිපයට ජනාධිපතිවරණය ජයගැනීමට හෝ කිසිදු අවස්ථාවක් නැති බව දැන් පැහැදිලි ය. එපමණක් නොව, පොහොට්ටුවෙන් හෝ එජාපෙන් පවා අගමැති තනතුර නම් ඔවුන්ට ලැබෙන්නේ නැත. වැඩිම වුණොත් කතානායක වැනි තනතුරක් සම්බන්ධ පොරොන්දුවකින් සැනසෙන්නට ඔවුන්ට සිදු වී තිබේ.

එහෙත්, මේ සියල්ල මැද අද වන විට වඩා පිරිසිදු පක්ෂය බවට පත් වී තිබෙන්නේ ද ශ්‍රීලනිපයයි. එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා දක්වා ම සකලවිධ කුණු කන්දල් පොහොට්ටුවට දමා ලොක් කිරීමට ශ්‍රීලනිපය සමත් විය. දැන් තිබෙන්නේ මෙතනින් එහාට යාම ය. ශ්‍රීලනිපයට ඇත්තට ම ජනාධිපතිවරණයක වැදගත්කමක් නැත. ඔවුන්ට වැදගත් වන්නේ ඉදිරි මහ මැතිවරණයකදී ලබාගත හැකි ප්‍රතිඵලයයි. ජනාධිපතිවරණය වැදගත් වන්නේ මහ මැතිවරණ ප්‍රතිඵලයට එමගින් ඇති කළ හැකි බලපෑම නිසා ය. එසේම, දේශපාලන සක්‍රියභාවය රැකගැනීමේ අභියෝගය ද ඔවුන් ඉදිරිපිට තිබේ.

ඒ අනුව ගත් කල ලොකුම උභතෝකෝටිකයට මුහුණ දී සිටින්නේ ශ්‍රීලනිපයයි. එම පක්ෂයේ තවත් පිරිස් කැඩී එජාපට හෝ පොහොට්ටුවට එක් වීමේ අවදානම ද පහ වී නැත. එහෙත්, ඉවසිලිවන්තව ඉදිරියට යන්නේ නම්, දේශපාලනයට නැවුම් බලවේගයක් ගොනු කරගෙන, අලුත් ගමනක් ඇරඹීමේ හැකියාව වැඩියෙන් ම ඇත්තේ ශ්‍රීලනිපයටයි. අප දකින ආකාරයට, චන්ද්‍රිකා බණ්ඩාරනායක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සුරේන් රාඝවන්, රජිත් කීර්ති තෙන්නකෝන්, ධම්ම දිසානායක, ශිරාල් ලක්තිලක වැනි අයට මෙය මහඟු අවස්ථාවකි.

ජනාධිපතිවරණය අතහැර නොදමා, ජනාධිපතිවරණය වෙනුවට මහ මැතිවරණය කෙරෙහි බර තබා අලුත් බලවේගයක් ගොනු කරගැනීමේ හා සංවිධානගත කරගැනීමේ මූලෝපායක් වෙත ඔවුන් ගමන් කළ යුතු ය. අලුත්, තරුණ, උන්නතිකාමී, ඉවසිලිවන්ත නායකත්වයකට ද ශ්‍රීලනිපය තෝතැන්නකි.