Sajith Ranil discussions

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට යෝජනාවක් ගෙන ඒම අපරාධයක් ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19දා අගමැති හා ජනාධිපති එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සජිත් පාර්ශ්වයේ විරෝධය නිසා ඉවත් කරගෙන තිබේ.

Translations by Creative Content Consultants

මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවීමේ අරමුණ ම වන්නේ මෙම යෝජනාව සාකච්ඡා කිරීමයි. ඊට පෙර එජාප රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඒ ගැන සාකච්ඡා කළා ද නැද්ද යන්න වාර්තා වන්නේ නැත.

එසේම, මෙම යෝජනාව එන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. එසේම, ඔහු සිය පස් අවුරුදු ධුර කාලය ආරම්භ වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ දිනයේ සිට ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන බව ද වාර්තා විය. ඔහුට ඒ වෙනුවෙන් තාර්කික පදනමක් තිබේ. ඇතැම් විට ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගන්නට හා ජනාධිපතිවරණය කල් යන්නට ද පුළුවන.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සුළු ජාතික මහජන නියෝජිතයන් විරෝධය පළකිරීම සාධාරණ ය. සුළු ජාතික ඡන්ද නොමැතිව විධායක ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයක් ජයගැනීමට තිබෙන්නේ අවම අවස්ථාවකි. මෙවර ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ තිබෙන්නේ ද එම අභියෝගය ම ය.

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන එක් පිරිසකගේ උවමනාව වන්නේ සුළු ජාතික බලයට අභියෝග කිරීමයි. රාජපක්ෂ බලවේගය එම උවමනාව නියෝජනය කරයි. එහෙත්, අගමැති රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවට උපකාර කරන සිවිල් සමාජය ඇතුළු බලවේග විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වන්නේ පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් නිර්මාණය කරගැනීම වෙනුවෙනි.

ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා එය වෙනස් කළ යුතු ය යන ජනප්‍රිය මිථ්‍යා මතයක් සමාජයේ තිබේ. එය පිළිබඳ ලිපියක් මෙතැනින් කියවන්න. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු ද?

කොට්ඨාස මට්ටමින් හා සමානුපාතික නියෝජනයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්වන ක්‍රමයක් තුළ පවා සුළු ජාතික විරෝධී පදනමෙන් මහජාතික ආණ්ඩු පිහිටුවීමේ හැකියාව ඉතිරි වන නිසා සුළු ජාතික නායකයන්ගේ ප්‍රශ්නය සැලකිල්ලට ගැනීම වැදගත් ය. ඔවුන් බිය විධායක ජනාධිපති නිසා ඔවුන්ට හිමි වී තිබෙන තැන අහිමි වී යනු ඇති ය කියා ය.

සජිත් පාර්ශ්වය මෙම යෝජනාවට විරුද්ධ වන්නේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි නැත. අදාළ යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී වචනයක් හෝ කතා නොකර සජිත් ප්‍රේමදාස පිටතට පැමිණ, කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය වන පරිදි ප්‍රකාශ නිකුත් කළේ ය. මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් විරෝධය නිසා ඉල්ලා අස්කරගත් ඉතිහාසයේ පළමු වතාව නොවේ. එසේම, එම යෝජනාව ගෙන ආ ආකාරයේ ද ගැටලුවක් නැත. එයට විරෝධය පළ වූ පසු එය ඉල්ලා අස් කරගෙන තිබේ. ජනාධිපති, අගමැති හෝ වෙනත් කිසිවෙකු එය බලහත්කාරයෙන් පටවන්නට උත්සාහ කර නැත. දේශපාලනය තුළ උපායමාර්ග තේරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබේ.

සජිත් ප්‍රේමදාස හා ඔහුගේ අනුගාමිකයෝ දිගින් දිගට ම විවිධ ආකාරයෙන් පක්ෂ විනය උල්ලංඝනය කරති. එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරගන්නට යන්නේ එවැන්නෙක් ද?