Sajith Premadasa and Maithripala Sirisena

වාතමුක්ත* එජාපය ඵලදායී අනාගත ආයෝජනයකට සූදානම් ද?

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී බොහෝ කලකි. ජාතික සමගි බලවේගය දොරට වැඩුම යනු එජාප පාර්ශ්ව දෙකේ බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් පමණි.

Translations

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තවදුරටත් එජාපයේ එල්ලී සිටින්නේ ආත්ම ශක්තියේ ගැටලුවක් නිසා විය යුතු ය. නොඑසේ නම්, ඔවුන්ට මේ වන විට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බහුතර බලය හිමි ය. පක්ෂ නාමය හා ලාංඡනය අයත් කරගැනීමට ඔවුන් විසින් දරන ලද උත්සාහයන් මෙතෙක් අසාර්ථක වී තිබේ. එයට මූලික හේතුව, ඔවුන්ගේ ප්‍රවේශය සිදුවන්නේ පක්ෂ ව්‍යූහය තුළින් වනවාට වඩා එයට පිටින් වන හෙයිනි.

රාජපක්ෂවාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා අලුතින් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා ඉතා කෙටි කලක් තුළ දේශපාලන ආධිපත්‍යය පිහිටුවාගැනීමට සමත් විය. රාජපක්ෂවාදය හා එහි අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් නුදුරු අනාගතයේදී රාජපක්ෂවාදයට එරෙහි පුළුල් මහජන අවකාශයක් සඳහා රික්තයක් නිර්මාණය වනු ඇත. එයට හැඩගැසීමේ හැකියාව ඇත්තේ කාට ද? එජාපට ද? ජාතික සමගි බලවේගයට ද? ජවිපෙට ද? පෙසපට ද? ජාතිවාදයට ද? අලුත් ම දේශපාලන බලවේගයකට ද?

සජිත් ප්‍රේමදාස යනු ජනප්‍රිය නායකයෙකු ය යන මිථ්‍යාව පසුගිය ජනාධිපතිවරණය විසින් පුපුරුවා හරින ලදී. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පාක්ෂිකයන් අතර යම් ජනප්‍රියත්වයක් හිමි අයෙකු බව පමණක් සත්‍යයකි.

ඊනියා ජනප්‍රියත්වයකට මුවා වෙමින්, පසුගිය දීර්ඝ වකවානුවක් මුළුල්ලේ ම සජිත් ප්‍රේමදාස උත්සාහ කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් නෙරපා හැර පක්ෂ නායකත්වය අත්පත් කරගැනීමටයි. ඒ වෙනුවෙන් ඔහු හැම විට ම පක්ෂයට පිටින් පාක්ෂික බලවේග පෙළගැස්වීම සිදු කළේ ය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සම භූමියක් හිමි නොවන පරිදි දිගින් දිගට ම ඔහුට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේ ය. එහෙත්, සජිත් ප්‍රේමදාස අසාර්ථක වී තිබෙන්නේ ඔහුගේ ප්‍රධාන ම දේශපාලන අරමුණෙහි වීම අතිශය කණගාටුදායක තත්වයකි.

පසුගිය ආණ්ඩු සමයේ පවා බලය තහවුරු කරගැනීමට අසමත් වූ එජාප ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බොහොමයක් සජිත් ප්‍රේමදාස පසුපසින් පෙළගැසී සිටිති. මේ බොහෝ අය පසුගිය ජනාධිපතිවරණයේදී සිය ආසන පවා අති විශාල ඡන්ද සංඛ්‍යාවන්ගෙන් පරාජය වූ අයයි. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව කෙසේ හෝ ඊළඟ පාර්ලිමේන්තුවට පත්වීමයි. ඔවුන්ගේ මූලික ප්‍රශ්නය අදක්ෂකම බව පසුගිය ආණ්ඩු සමයේ ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.

එජාප නායක රනිල් වික්‍රමසිංහ පවා පෙන්වා තිබෙන ප්‍රධාන දක්ෂතාව වන්නේ සජිත් ප්‍රේමදාස පරාජය කරමින් බලය රැකගැනීමයි. ඔහු නායකත්වයෙන් ඉවත් විය යුතු බව ඇත්තකි. එහෙත්, එය සිදු විය යුත්තේ එජාපය පසුගිය සමයේ ගොඩනගාගන්නා ලද ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ආරක්ෂා කරගන්නා මූලෝපායක් තුළ ය.

Translations by Creative Content Consultants

සජිත් ප්‍රේමදාස විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ ඔහු එජාපය විසින් ගොඩනගාගන්නා ලද නූතනවාදී වටිනාකම්වල හිමිකාරිත්වය භාරගැනීමට අකැමැති බවයි. එපමණක් නොව, ඔහු එයට එරෙහිව ද පෙනී සිටියි. වසර 2015 සිට 2019 දක්වා වකවානුව තුළ එජාපය නායකත්වය දුන් ආණ්ඩුව, බාධක මධ්‍යයේ පවා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, ජාතික සංහිඳියාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ආර්ථිකය නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් වැදගත් ප්‍රතිපත්ති රැසක් සම්පාදනය කිරීමට හා රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමත් විය. සජිත් ප්‍රේමදාස එකී පියවර සම්බන්ධයෙන් කැබිනට් සාමූහික වගකීම හෝ භාරගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. ඔහුගේ දැක්ම කුමක් ද යන්න අපැහැදිලි අතර, කුමක් හෝ දැක්මක් තිබේ ද යන්න ද අපැහැදිලි ය.

එක්සත් ජාතික පක්ෂයේ ඛණ්ඩනය හේතුවෙන් අප්‍රේල් මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය රාජපක්ෂවාදීන්ට අතිශය වාසිදායක එකක් වන බව නිසැක ය. තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන පාලනය ගෙන යාමේ උවමනාව පෙරදැරි කරගෙන මැතිවරණයට ඉදිරිපත් වන ඔවුන්ට තුනෙන් දෙකේ ජනවරමක් වුව ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදා විය හැකි ය.

එහෙත්, තවමත් එය වැළැක්විය නොහැක්කක් නොවේ. සජිත් ප්‍රේමදාස සමග අසාර්ථක දේශපාලනඥයන් කැලතක් ම එජාපයෙන් ඉවත් වීම එක පැත්තකින් පක්ෂයට ආශිර්වාදයකි. වඩා දක්ෂ, අවංක දේශපාලන වෘත්තිකයන් පිරිසක් භූමිය වෙත ආකර්ශනය කරගැනීමට මෙය කදිම අවස්ථාවකි. ඔවුන් ක්ෂණිකව ජයග්‍රහණය නොකරනු ඇති මුත්, එය අනාගතය වෙනුවෙන් සාර්ථක ආයෝජනයක් බවට පත් කරගත හැකි ය. එහෙත්, ඒ සඳහා නිසි නායකත්වයක් තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ එයට ප්‍රාමාණික නැති බව ද ඉතා පැහැදිලි ය.

*මාතෘකාවේ ඇති වාතමුක්ත යන යෙදුමෙන් අදහස් වන්නේ වාත කේස්වලින් නිදහස් වූ යන්නයි. එජාපය තුළ ඉතිරි වූ කේස් වාත නොවන බවක් එයින් අදහස් වන්නේ නැත.