drum

වයිරසයෙන් ආරක්ෂාවේ වගකීම ජනතාවට දී ආණ්ඩුව ආර්ථිකය කඩාකප්පල් නොකර සිටිය යුතුය

මේ වන විට අලුත් කොරෝනා රෝගීන් පොකුරක් දිවුලපිටියෙන් මතු වී තවත් ප්‍රදේශ රැසකට විහිදී තිබේ. එහි සුලමුල සොයාගන්නට රජය තවමත් උත්සාහ කරමින් තිබේ.

Translations by Creative Content Consultants

මෙම කොවිඩ්-19 රෝගියා හමුවන්නේ ඉතා අහම්බ ආකාරයකටයි. එම රෝගියා වැනි හඳුනා නොගත් කොරෝනා වයිරස් ආසාදිතයන් තව කෙතරම් සමාජයේ සිටිනවාදැයි කිසිවෙකු දන්නේ නැත. ලංකාවේ කොවිඩ්-19 පරීක්ෂා කිරීම් තිබෙන්නේ අවම මට්ටමකය. වැඩිපුර පරීක්ෂා කරන්නේ ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල යයි ද කියැවේ.

පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ නායකයන් හැසිරුණේ කොවිඩ්-19 ලෝකයෙන්ම තුරන් කර ඇති තත්වයක් තුළ දැකිය හැකි නොසැලකිල්ලකිනි. නායකයන් ලෙස ඔවුන් සමාජයට දුන් ආදර්ශ ඉතාමත් නරක ය. මුඛ ආවරණ, මීටරේ පරතරය ආදිය රාජ්‍ය නායකයන් තඹයකට තැකුවේ නැත.

එක අතකට එහෙම වුණත් කමකුත් නැත. කොවිඩ්-19 හැම කෙනෙකුට ම එතරම් භයානක රෝගයක් නොවේ. එසේම, එය කවදා සමාජයෙන් ඉවත් වනු ඇත්දැයි කිව නොහැකි තරම් ලොව පුරා පැතිරී තිබේ. එසේම, එය හෙම්බිරිස්සාව සේ හැමදාමත් ලෝකයේ පවතින්නටත් පුළුවන. මිනිසුන් එයින් මිය යන එක නවත්වාගන්නට ද බැරි ය. මිනිස්සු කොහොමත් විවිධ හේතු නිසා මියයති.

කොවිඩ්-19ට හා එයින් සිදුවිය හැකි මරණවලට බිය වී මිනිස් වර්ගයාට පැවතිය නොහැකිය.

කෙසේ වෙතත්, කොවිඩ්-19 අපට ගැලවිය නොහැකි යථාර්ථයකි. එයින් සමාජය ආරක්ෂා කිරීමේ වගකීම සෑම පුද්ගලයකුට ම තිබේ. ඒ නිසා රජය විසින් හඳුන්වාදෙන නිරෝධායන නීති රීතිවලට රාජ්‍ය නායකයන්ගේ සිට අප දක්වා සියලු දෙනා අනුගත විය යුතුය.

ලංකාව දූපත් රාජ්‍යයක් වීමේ වාසිය අත්පත් කරගත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් මෙතෙක් කල් රෝගය පාලනය කරගෙන සිටියේය. එහෙත්, රෝගය සම්බන්ධයෙන් තිරසර විසඳුමක් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත්, රජය කටයුතු කර තිබෙන්නේ අධික සුබවාදයකින් බව අපට සිතේ.

කෙසේ වෙතත්, දැන් කරන්නට දෙයක් නැත. රජයට කළ හැකි දේවල සීමාවක් තිබේ. රෝගය පාලනය කරන්නට මහජනතාව සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට උපරිම සහයෝගය ලබාදිය යුතු ය. ඒ මීටරේ පරතරය තබාගැනීමෙන්, මුඛ ආවරණ පැළඳීමෙන්, දෑත් සේදීමෙන් හා ගමන් බිමන් අවම කිරීමෙනි.

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය.

තේරුමක් නැති ඇඳිරි නීතියකින් ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය එක වරක් බිඳ දැම්මේය. නැවත එසේ නොකර බුද්ධිමත්ව කටයුතු කරන්නැයි අපි බැගෑපත්ව ආණ්ඩුවන් ඉල්ලා සිටිමු.

Translations