රාජ්‍ය අංශය තියෙන්නෙ රස්සා දෙන්න; රාජ්‍ය සේවය තියෙන්නෙ ඒක සාධාරණීකරණයට

පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය.
බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් අයට ප්‍රමුඛතාව දෙන බව කියූ මෙම මහා රැකියා ව්‍යාපෘතිය වෙනුවට දැන් ඉදිරියට පැමිණ තිබෙන්නේ උපාධිධාරීන්ට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනකි.

Translations by Creative Content Consultants

දැනට පොරොන්දු වී තිබෙන ආකාරයට උපාධිධාරීන්ට රැකියා 60,000ක් ද දිළිඳු ජනයාට රැකියා 50,000ක් ද ලබා දීමට සැලසුම් කර තිබේ.

ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද රජය නිවේදනය කර තිබේ. ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය. එහෙත්, දැන් මේ ගුරු සහායකයන් පිළිබඳ කතාවක් නැත.

2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද පළමු කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු විසින් මතු කර දක්වන ලද්දේ රැකියා දීමයි. එහෙත්, ඒ සම්බන්ධ ප්‍රතිපත්තියක් ඇති බවක් පසුගිය මාස අටක පමණ කාලය තුළ ක්‍රියාකාරිත්වය අනුව නොපෙනේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. අලුතෙන් බඳවා ගනු ලබන පිරිස ද සමග රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවනු ඇත. එය මෙරට ජනගහනයෙන් 10%කි. සෑම දහදෙනෙකුගෙන් ම එක් අයෙකු ඍජුව ම රජයෙන් යැපෙන අයෙකු වනු ඇත. ඔවුන්ගෙන් යැපෙන්නන් සංඛ්‍යාව තුනක් ලෙස ගණන් බැලූ විට රටේ ජනගහනයෙන් 30%ක්වත් රජයෙන් යැපෙන්නන් වනු ඇත.

මීට අමතරව. රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අර්ධ රාජ්‍ය ආයතන, රාජ්‍ය සමාගම් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයන් සංඛ්‍යාව 450කට වැඩි සංඛ්‍යාවක් තිබේ. දේශපාලකයන් තම හෙංචයියන් ඍජුවම මෙම ආයතනවලට පත්කරනු දැකිය හැකි ය. පසුගිය දිනෙක ජනාධිපති අතිරේක ලේකම්වරියක වන චන්දිමා වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සංවිධානය කරන ලද වැඩසටහනකදී පෙන්වා දුන්නේ මෙවැනි රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නිවැරදි ලේඛනයක් කිසිදු රාජ්‍ය ආයතනයක් සතුව නැති බවයි. ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ලංකා ඛනිජතෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය මෙවැනි ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය කිහිපයකි. මේ සියල්ල ම පාඩු ලබන ආයතන වේ. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙවැනි ව්‍යවසායන් 30ක් ඇති බවත්, ඒ සියල්ල ම පාඩු ලබන ඒවා හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත එම වැඩසටහනේදී පැවසී ය.

මෙතරම් දැවැන්ත රජයකින් ලැබෙන මහජන සේවය කුමක් ද? හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වූ සුසිල් ප්‍රේම ජයන්ත පැවසූ පරිදි ලංකාවේ රජයේ පාසල්වල සිසු-ගුරු අනුපාතිකය සිසුන් 18කට එක් ගුරුවරයෙකු වන අතර එය බ්‍රිතාන්‍යයේ පවා නැති විශිෂ්ට තත්වයකි් බව ඔහු පැවසී ය. එහෙත්, අපේ අධ්‍යාපනය කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නැති බව කවුරුත් පිළිගනිති.
වර්තමානය වන විට නිදහස් පාසල් අධ්‍යාපනය ටියුෂන් වෙළඳපොළේ ඇමුණුමක් බවට පත් වී තිබේ. නිදහස් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබන පිරිසට වඩා පිරිසක් උසස් අධ්‍යාපනය ලබන්නේ පෞද්ගලික ආයතනවලිනි. එයින් කොටසක් අධ්‍යාපනය සඳහා විදේශගත වන්නේ මෙරට මුදල් පිටරටට ද පටවමිනි. නිදහස් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් පවත්නා තත්වය ද මෙය ම ය. අතිවිශාල රැකියා ප්‍රමාණයක් සම්පාදනය කරන, අති විශාල මහජන මුදල් සම්භාරයක් ගිල දමන රාජ්‍ය සෞඛ්‍ය අංශයක් තිබියදී ගම් නියම් ගම් ගානේ පෞද්ගලික සෞඛ්‍ය සේවා විහිදෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සම්බන්ධයෙන් එක් සරල සූත්‍රයක් ඉදිරිපත් කළ හැකි ය. එනම්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය පවතින්නේ මධ්‍යම පන්තියක පැවැත්ම සඳහා ය. රාජ්‍ය සේවය තිබෙන්නේ එම මධ්‍යම පන්තික පැවැත්ම යන්තමින් සාධාරණය කිරීම සඳහා ය. මෙය තවත් සරල කර පැවසුවහොත්, රජය යනු මධ්‍යම පන්තිය පෝෂණය කරන ආයතනයකි. මහජන සේවය යනු එම කාර්යය සාධාරණීකරණය කිරීම සඳහා යන්තමින් කරන වැඩකි. මෙය ශ්‍රී ලාංකික සමාජ ක්‍රමයේ ප්‍රධානතම ගැටලුවක් ලෙස හඳුනාගත යුතු ය. ක්‍රමය වෙනස් කිරීමෙහිදී මමෙ තත්වය වෙනස් කිරීම ඉතා වැදගත් ය. මෙම කෘර සත්‍යය අවබෝධ කරගැනීමෙන් තොරව ලංකාව වෙනස් කළ නොහැකි ය.

Translations