Ranil in mood

රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය

අජිත් පැරකුම් ජයසිංහ

රමිඳු ලඛික පෙරේරා විසින් ලියන ලද ‘රනිල ශාඛයේ සාපය’ නම් ලිපිය (එය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබේ) ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. මෙම ලිපියේ මාතෘකාව එය මඳක් වෙනස් කරගෙන සකසා තිබේ.

ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්‍රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. කෙසේ වෙතත්, මෙම ලිපිය විසින් ද අරගලයේ සාරය හඳුනාගැනීමට අසමත් වෙයි. එනම්, නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය.

මෙහි පවතින විප්ලවීය අවස්ථාව යනු රාජපක්ෂ ක්‍රමය වෙනස් කිරීම ලෙස හැඳින්විය හැකි, දේශීය හා විදේශීය ණය මත අධික ලෙස රඳාපැවති, දරාගත නොහැකි තරම් සුබසාධනවාදී, උවමනාවට වඩා රාජ්‍ය මූලික, දූෂිත ධනේශ්වර රාජ්‍ය ක්‍රමය වඩා තිරසර අන්දමින් ප්‍රතිව්‍යූහගත කිරීමයි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා ගොඩනැගුණු සමාජ රැල්ල තුළින් ද මෙම විප්ලවීය අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශයට පත්විය. ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල මෙන්ම ඔවුන්ගේ පක්ෂයේ බුද්ධිමතුන් ලෙස සැලකිය හැකි චරිත හේරත් වැනි අය පවා මෙය කියවාගැනීමට අසමත් වූහ. ගෝඨාභය රාජපක්ෂ ‘නරක’ පාලකයකු වූයේ ඔහු ඉතා අකාර්යක්ෂම නායකයකු වූ නිසාය. ඉතිරිය ප්‍රොපගැන්ඩා වන අතර, ප්‍රොපගැන්ඩා නිර්මාණය කරන දේශපාලන නායකයන් තමන්ගේ බොරුවලට තමන්ම අහුවීම කිසිසේත්ම නොකළ යුතුය. රමිඳු මේ මුළාවෙන් බොහෝදුරට මිදී ඇත. ඔහුගේ ලිපියේ තිබෙන ස්වරය ඔහුගේ පාඨක ආකර්ශනය වෙනුවෙන් ඔහු යොදාගන්නා උපායකි.

මෙම විප්ලවයට නායකත්වය දෙන්නට තරම් පුළුල් දැක්මක් වාමාංශික ව්‍යාපාරයට නැත. ඒ දැක්ම ජවිපෙ නායකත්වය තුළ දැකිය හැකිමුත්, තම බලවේගයේ ස්වභාවය අනුව එය කළ නොහැකි බව අවබෝධ කරගැනීම හේතුවෙන් ජවිපෙ නායකත්වය ද එම වගකීමට උරදීමට මැලිබවක් දක්වයි. ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ දීර්ඝකාලීන මූලෝපායකි. එනම්, පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරගෙන ප්‍රධාන විපක්ෂය බවට පත්වීම යයි මට සිතේ.

මෙවැනි අවස්ථාවක දෙයාකාරයක බල පෙරළි සිදුවිය හැකිය. එක් ආකාරයක් වන්නේ ව්‍යවස්ථාවෙන් පරිබාහිරව පෙරටුගාමී (vanguard) කණ්ඩායමක් බලය ගැනීමයි. Vanguard යන වචනය තමන්ට ඉතාම නිවැරදිව ගැලපෙන ලෙස Frontline හෙවත් ඉදිරිපෙළ යනුවෙන් පරිවර්තනය කරගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය ද ඒ සඳහා සූදානමක් නැති බව පැහැදිලිය. වෙනත් කිසිවකු ද නැත. ඊනියා නිර්පාක්ෂික කණ්ඩායම් යනු එවැනි පක්ෂයක මෙහෙයවීමට ගත යුතු අරාජිකවාදීන් පිරිසකි.

සිදුවිය හැකි අනෙක් ආකාරය දැන් සිදුවී තිබේ. එය ද විප්ලවීය බල හුවමාරුවක් වන අතර නීතිමය ලෙස ව්‍යවස්ථානුකූලය. ආචාරධාර්මිකව ප්‍රජාතන්ත්‍රවාදී නැත.

ලංකාවේ දේශපාලනය තුළ මේ මොහොත කැරැල්ලකි. රාජ්‍ය විරෝධී කැරැල්ලක් මැඩපැවැත්වීමට රාජ්‍යය කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එහිදී ඔවුන් භාවිතා කරන්නේ නීතියයි. පරාජිතයන්ට හැමවිටම සිදුවන දෙය මෙහිදී ද පරාජිත පාර්ශ්වයේ දුර්වල කොටස්වලටට සිදුවේ. අරගලය පරාජයකින් කෙළවර කරගන්නවා වෙනුවට සාකච්ඡාමය සම්මුතියකට යාමට තවමත් ප්‍රමාද නැත. සාංසිද්ධික නැගිටීමේ වාසිය ගන්නා දේශපාලන පක්ෂවලට කැරැල්ල වෙනුවෙන් පෙනීසිටීමේ වගකීමක් ද තිබේ. ඔවුන්ට ඒ සඳහා බල කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ ආදේශ වන්නට උත්සාහ කරන්නේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගෙන් අපේක්ෂා කළ තත්වයටය. ඒ සඳහා වාසිදායක තත්වයක් ද ඔහුට උදාවී තිබේ. ඒ අනෙකක් නොව කැරැල්ල නොහොත් අරගලයයි. ඒ නිසා ඔහු එය පවත්වාගෙන යන්නට ද කැමැත්තක් දක්වන බවක් පෙනේ.

අරගලයේ අවසන් ඉල්ලීම කඩිනම් මහ මැතිවරණයක් බවට පත්වූ විට බොහෝවිට සිදුවිය හැ කි දෙය වන්නේ අරගලය ඒකාන්ත වශයෙන් පරාජය වීමයි. එයට එක් මූලික හේතුවක් වන්නේ පවත්නා ආර්ථික අර්බුදයට මහ මැතිවරණයකින් කිසිදු විසඳුමක් නොලැබෙන බැවින් හා ආර්ථික අර්බුදය හේතුවෙන්ම සාධාරණ මැතිවරණ පැවැත්වීම ද දුෂ්කර වන හෙයිනි. පසුබස්වන ලද රාජපක්ෂවාදයට හා ජාතිවාදී ප්‍රවණතාවන්ට පවා එමගින් අලුත් සුජාතභාවයන් නිර්මාණය වීමේ අවදානමක් තිබේ.

එය වළක්වා ගැනීමට නම්, රමිඳු යෝජනා කරන ආකාරයේ වාම දේශපාලන සන්ධානයක් අවශ්‍යය. වාම දේශපාලන සන්ධානයක් බලයට පත්වුණත්, ලංකාව සම්බන්ධයෙන් මේ මොහොතේ වාම වැඩපිළිවෙලක් නැත. වාම සන්ධානයකට කළ හැකි එකම දෙය වන්නේ වම නැතිභංග කරදැමීමයි. හේතුව, 2019 නොවැම්බරයේ මෙන්ම, 2022 ජුලියේ ද සිදුවූයේ එකම නැගිටීමක් වන හෙයිනි. ඒ නැගිටීම තමන්ට එරෙහිව කරගැනීමට අවශ්‍ය නම් වමට බලය රසවිඳ බැලිය හැකිය. මධ්‍ය වාමාංශික පක්ෂයක් බවට වේගයෙන් පරිවර්තනය වන ජවිපෙට පවා සුබසාධනය ශක්තිමත් කිරීමේ දේශපාලනයකට යළි අවස්ථාව ලැබෙන්නේ 2030 පමණ විය හැකිය.