Ranil-PM-2022

රනිල් හා අරගලය

අජිත් පැරකුම් ජයසිංහ

කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි.

අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලෝකයේ අපට හිතවත් රටවලින් bridging finamce හෙවත් අන්තර්කාලීන මුදල් ගේන්න ඕනැ.

ඒ අතරවාරෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් සාකච්ඡා කරගන්නට ඕනැ.

ඩොලරය මේ මට්ටමෙන් තබාගැනීමත් අභියෝගයක්. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට පෙර පවා විදේශ ආයෝජන ගෙන්වාගන්න අවශ්‍යයි. අත්හැර දැමූ MCC ප්‍රදානය, ජපන් සැහැල්ලු දුම්රිය වැනි ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න පුළුවන්ද බලන්න ඕනැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ වැඩසටහන ආරම්භ කිරීමත් ලේසි නැහැ. රාජ්‍ය සේවය කප්පාදු කිරීම අමාරුයි. ඒ නිසා එයට අලුත් බඳවාගැනීම් සීමාකරලා කාර්යක්ෂමතාව වැඩිකරන්න ඕනැ. දිළිඳු ජනයාට සහන සලසන්න ඕනැ. ශ්‍රීළන්කන් වගේ නාස්තිකාර බිස්නස් සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනැ. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය වැනි ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනැ.

ඉන්ධන ප්‍රශ්නය නිසා ⁣වහාම පොදු ප්‍රවාහනය නංවන්නට මැදිහත්වෙන්න ඕනැ. ගිනි තියපු බස්වලට වන්දි ගෙවන්න ඕනැ.

පෙර වැරදි කෙසේ වෙතත් පොහොට්ටු පාක්ෂිකයන් ලක්වුණේ දැඩි අසාධාරණයකට. ඔවුන්ට ආරක්ෂාව සලස්වන්නට ඕනැ. දේපළ හානිවලට වන්දි ගෙවන්න ඕනැ. ප්‍රති ප්‍රචණ්ඩත්වය තහනම් මාතෘකාවක් නෙමෙයි. ඒක 1983 ජුලි වගේ විනාසයක්. ඒකෙ වින්දිතයන්ට ඒ ගැන කතාකරන්න දෙන්න ඕනැ. නැවත සිදුනොවෙන්න නම් වුණ දේ හරියට දැනගන්න ඕනැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒක.

ගෝටා පැන්නීමේ අරගලය මේ සංදර්භය තුළ ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනැ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආපසු යාම කඩිනමින් කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාත් එක්කම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, බලය බෙදීම විධිමත් කිරීම ආදී පියවරත් අත්‍යවශ්‍යයි. ඒ එක්කම ක්‍රමයේ ලොකු වෙනසක් වේවි.

දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න නම් අලුත් පරපුරට දේශපාලනයට ඇතුළුවෙන්න ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන, පක්ෂ ඕනැ. ගෝටාගෝගම සංවාදය යොමුවියයුතු ප්‍රධාන අක්ෂයක් වන්නෙ ඒක.

අරගලය කියන්නෙ සටන්පාඨ විතරක් නෙමෙයි. උපායනුත් වැදගත්.