Sunanda Deshapriya

රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක්

රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක්

දර්ශන කාහිංගල

‘රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්’ මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා. එයට පිළිතුර ලෙස දර්ශන කාහිංගල විසින් යවන ලද මෙම පිළිතුරු ලිපිය එම වෙබ් අඩවියේ පළකිරීම සුනන්ද දේශප්‍රිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ හා සම්බන්ධ දර්ශන කාහිංගල හා සුනන්ද දේශප්‍රිය අතර සංවාදයේ වට්සැප් තිර රූපයක් ද මේ සමග දැක්වේ.

ලංකා පොළොවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා දිගුකල් අරගලයක පරිනත අත්දැකීම්ධාරියකු විසින් මෙවැනි නර්මාලාප සහිත ලිපියක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්.

මුළු ලිපිය ම පදනම්‍ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයේ සිට ම අගමැති, වැඩ බලන ජනාධිපති හා 20 දින අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු නිලවරණයේ දී අපේක්ෂකයකු වීම පවා ව්‍යවස්ථානුකූල නැති බව එක අතකින් කියන ගමන් අනිත් අතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම ‘ව්‍යවස්ථාවට පිටින් වූවක්’ බැවින් ව්‍යවස්ථාව අනූව ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් අවශ්‍ය නොවන බව පෙන්වා දීමටයි. මේ පදනම විතරක් සැළකිල්ලට ගත්තත් මේ ලිපිය ව්‍යවස්ථාව පදනම් කර ගත් එකිනෙකට පරස්පර ප්‍රකාශනයන්ගෙන් නිශේධ වී

යන්නක් බව පැහැදිලි යි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පත්වීම් ද ?

—————————————————

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ලෙස පත් වීම කිසිදු ජනවරමකින් බැහැර ව සිදු වූවක් බව මෙහි එන එක් තර්කයක්. මෙහි දී රංජිත් 2020 විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය ඇත්තක් ලෙස අවිවාදයෙන් බාර අරන්. ඉතින් එදා ප්‍රකාශ වුණා කියන ‘ජනමතය’ අනූව රනිල් මංත්‍රීධූරය ලබන්නේ ජාතික ලැයිස්තුවෙන් එම පක්ෂයට ලැබෙන එක ම එක ආසනය මගින්. ජාතික ලැයිස්තුව යනු ජනවරමක් නෙවෙයි ද ? ඒ විවාදාත්මක ඡන්ද ප්‍රතිඵලය තුළ වුව ද, රට පුරා ම එම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ වූ ඡන්ද නියෝජනයෙන් බැහැර විය යුතු යයි රංජිත් වැන්නෝ කල්පනා කරතියි අදහාගත නොහැක්කක්.

ජාතික ලැයිස්තුවේ රනිල් ගේ නම නැතැයි ද, රනිල් ඡන්දයෙන් පරාජිත වූවෙක්යැයි ද තවත් ඤරුඤුරුවක්. කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට විශිෂ්ට සේවයක් කරපු සුනිල් හදුන්නෙත්ති කියන්නෙත් ඒ වගේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පරාජිත මංත්‍රීවරයෙක්. ජාතික ලැයිස්තුවේ අරමුණ වෙන ජනප්‍රියතාවයෙන් අසමත් වෙන, එහෙත් පාර්ලිමේන්තු මංත්‍රීවරයකු හැටියට වැදගත් සේවයක් සැලසිය හැකි අය ඊට පත්කිරීමයි. (කෝප් හිටපු සභාපතිවරයකු වන ඩිව් ගුණසේකර පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය, ජනතාව නියෝජනය කිරීම සදහා හැකියාව, පාර්ලිමේන්තු මංත්‍රීවරයකු සතු විය යුතු සුදුසුකම් බවයි)ඉතින් රනිල්-සුනිල් අවස්ථා දෙකේ දී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය ගැන ලියුම්කරුට ඇත්තේ සමාන නොඑකගතාවයක් ද ? නැත්නම් වෙනස් තේරුම් කිරීමක් ද ?

අගමැති වෙනස රාජපක්ෂවරු විසින් පරිත්‍යාග කිරීමක් ද;අරගලය තුළ දිනාගැනීමක් ද ?

—————————————————

රනිල් අගමැති ධූරයට පත් වෙන්නේ ‘බලහත්කාරයෙනැ’ යි රංජිත් කියයි. මෙකී අරගල තත්වය ආරම්භ වීමට පෙරාතුවම ලංකාවේ ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයන් මෝරා යන, පිපුරුම් සහගත කාලයේ දෙවරක් ම රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ අගමැති යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත්, ගෝල්ෆේස් ඇතුළු වීදි අත්‍පත්කරගැනීම් අතර ඉදිරිපත් වූ මුල් යෝජනාව ද ප්‍රතික්ෂේප කළ බවත් එක්කෝ රංජිත්ලා විසින් අමතක කරනවා; නැත්නම් වසන් කරනවා. අන්තිමේ දී මැයි 09 වෙනිදා ආණ්ඩුවේ ප්‍රහාර හමුවේ මතු වූ අස්ථාවරත්වය යොදා ගනිමින් මිලිටරි ජුන්ටාවක් ඇටවීමේ අනතුර එළැඹෙමින් තිබෙද්දී, විපක්ෂ නායක සජිත් හා ජාතික ජනතා බලවේගය ලෙස පෙනී සිටින අනුර කුමාර යන දෙදෙනා ම නොකෙරෙන කොන්දේසි දමමින් මග හරින තත්වය තුළදිත්, රනිල් මෙය බාර ගත්තා. නැත්නම් ඇමති මණ්ඩලයම නැතිව වුණත් ගෝටා ට ජුන්ටාවක් පිහිටුවා ගැනීමේ ඉඩ විවර වෙමින් තිබුණේ. ඔහුට කියන්නට ඇත්තේ මෙපමණයි;”පාර්ලිමේන්තුව විකල්ප නායකත්වයක් පත් කිරීමට අසමත්; අස්ථාවරත්වය වළක්වනු වස් පාලන බලතල ව්‍යවස්ථානුකූලව මා අතට ගන්නවා”. (සමහරුන් ‘විධායක ජනාධිපති ක්‍රමය’ යයි පටලවා ගෙන සිටින ‘දෙමුහුන් ක්‍රමයේ’ ලක්ෂණය හා අවශ්‍යතාවය ද ඒකයි)

එයාලගේ කොන්දේසි සහ මෙයාලගේ කොන්දේසි

—————————————————

රනිල් මේ බාරගැනීම කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය අසීරු ම අභියෝගයකට ලක් ව තිබිය දී බව මෙතැන දී ලියුම්කරු ට අමතක වීමක් ද;නැතහොත් කුහක වසන් කිරීමක් ද ? රනිල් කිසිම කොන්දේසියකින් තොර ව අගමැති ධූරය බාර ගත් බව මීට කීපවිටක් ම මෙකී ලියුම්කරු පවසා තියෙනවා. ඒත් ඇත්ත වෙන්නේ, රනිල් විසින් ඉදිරිපත් කළ කොන්දේසි ද ඇති අතර, ඒවා අතර තිබුණේ ගෝටාගෝගම සාමකාමි රැස්වීමේ හා සමාගමයේ අයිතිය යටතේ ආරක්ෂා කළ යුතු බවත්, 19 සංශෝධනය යළි ව්‍යවස්ථාවට ගෙනෙමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 සංශෝධනය අහෝසි කළ යුතු බවත් යනාදි ඒවා බවයි. මානව අයිතීන් රැකෙන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කෙරෙන පරිදි ක්‍රමක්‍රමයෙන් ජනාධිපති විධායක බලතල අඩු කෙරෙන වැඩපිළිවෙල සැබැවින් ම අරගල බිමේ ඇත්ත අරගලය ඉදිරියට ගෙන යාමක් නො වේ ද ? ඉඩම් අල්ලා ගෙන සිටීමෙන් හෝ පිකට් බෝඩ් අල්ලා සිටීමෙන් හෝ මග හරස් කිරීමෙන් හෝ පමණක් මේ අරගලය දිනිය නොහැකි අතර අනිවාර්යයෙන් ම එය ව්‍යවස්ථාව හා ව්‍යවස්ථාදායකය තුළට ද ගෙන යා යුතු ව තිබුණා. වීදි අත්පත් කරගැනීම් වලට බොහෝ කලකට පෙර රනිල් වික්‍රමසිංහ සිය ප්‍රථම පාර්ලිමේන්තු කතාවේදී ම පෙන්නා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ව්‍යවස්ථාපිත නොවන රෙජීමයකින්, විශේෂයෙන් ම මිලිටරි රෙජීමයකින් යට කෙරෙමින් ඇති බවයි; ඒ ගලවා, ස්වාධීන කර ගැනීමේ අවශ්‍යතාවයයි. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජන අරගලයේ පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් එක් ප්‍රමුඛ මට්ටමේ ප්‍රකාශකයෙකු වුණා. ආඥාදායකත්වය කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආණ්ඩුවේ බල කළමනාකරණ උපක්‍රමයක් ලෙස අගමැති ධූරය හිස් කිරීමේ දී පාර්ලිමේන්තුවේ අන් සියළු ම නායකයන් කර හැරි වගකීම බාරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම ‘බලහත්කාරයක්’ වන්නේ කොහොමද ? කාවද ‘බලහත්කාරය’ ට ගොදුරු වුණේ ?

ජනාධිපති පදවිය මංකොල්ල කෑවා ද;ව්‍යවස්ථානූකූල ජන අරගලයෙන් දිනා ගත්තා ද ?

—————————————————

මීළගට වැඩබලන ජනාධිපති පදවිය බලහත්කාරයකින් උදුරා ගත්තක් ද ? නැහැ; ඒ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථානුකූලව සිදු වූවක්‍. ජනාධිපතිවරයා විදෙස්ගත වීමක් ඒ වන විට සිදු ව තිබුණු අතර 37:1 ව්‍යවස්ථාව අනූව ඒ වන විට සිටි අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති ධූරයේ වැඩ බැලීම සදහා පත් කළ යුතු වෙනවා.ඉතින් සිදු වුණේ ඒක මිස වෙන කිසිවක් නෙවෙයි. එතැන ඇති ‘බලහත්කාරය’ මොකක්ද ? කාට වූවක් ද ?

40:1 ව්‍යවස්ථාව අනූව පාර්ලිමේන්තුව විසින් එහි මංත්‍රීවරු අතරින් අයෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා ගත යුතු වෙනවා. එහිදී තරග වැදීම ව්‍යවස්ථාවටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් මුළුමනින් ම එකගයි. ඒ ඡන්දයට ඉදිරිපත් නොවන ලෙස පවා ඉහත පිරිස රනිල් වික්‍රමසිංහ ට බලපෑම් කරමින් ඉන්නවා. ඉහත සියළු නර්මාලාප නිශේධ වීමෙන් පසුවත් මේ කල්ලි විසින් කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සාපරාධී බලහත්කාරයක් ද නොවන්නේ කොහොමද ?

ව්‍යවස්ථාව එක්ක ඩබල් ගේම් කාගේ ද ?

—————————————————

එක් අතකින් රනිල් වික්‍රමසිංහ ගේ සියළු ම පත්වීම් නීතියට පිටින් බව පෙන්වීමට ව්‍යවස්ථාව පෙන්වන රංජිත්, අනෙක් අතින් ජනාධිපතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථාවට බැහැරින් කරන ලද්දක් බව පෙන්වමින් ව්‍යවස්ථාවට අනූව කටයුතු කිරීමේ හෝ යුක්තියුක්තභාවය සෙවීමේ අවශ්‍යතාවයක් නැති බව කියනවා. මේ පරස්පර කතාව ගැන කරදර වීමත් අනවශ්‍ය දෙයක් වෙන නමුත් සරල පැහැදිලි කිරීමක් ලියා තියන්නම්. මෙපමණයි; ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි සෘජු ක්‍රියාමාර්ග ලෙස ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ දෝෂාභියෝග සම්මතයත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බල රහිත කිරීමත් විතරක් බව ඇත්ත නමුත් අදහස් පළ කිරීමට ද, සාමකාමී රැස්වීමේ අයිතිය ද මූලික අයිතිවාසිකම් හැටියට ව්‍යවස්ථාවෙන් තහවුරු වී තියෙනවා. රංජිත් අමතක කරන්නේ හො සගවාලන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන හැටියට බල කළ මුළු ජන නැගිටීම විසින් ම යොදා ගත්තේ මේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන බවයි. ඒ අනූව මේ මුළුමනින් ම ව්‍යවස්ථානූල තත්වයක්.

‘අරගලය’, හයිජැක් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ එඩ්‍රස් මාරුව

—————————————————

එහෙත් අරගලය තුළ තිබුණු බහුපාක්ෂික ස්වරූපය ඊට හයියක් වගේ ම සමහර විට ව්‍යාකූලත්වයක් සහ විනාශකාරීත්වයක් ද ගෙන ආ බව දකින්න පුළුවන්. මේ හිඩැස යොදා ගනිමින් ‘ගෝටාගෝහෝම්’ තේමාවට ‘ගෝටා-රනිල් ආණ්ඩුව ගෙදර පල’ ලෙස තේමාවක් උඩින් පටවනු ලැබීම අරගලයේ දිශානතිය වියවුල්‍ කරන්නක් වුණා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජවිපෙ යටතේදීත් ,අද පෙසප යටතේදීත් කුමනාකාර ‘ප්‍රජාතන්ත්‍රවාදී’ සංවිධානයක් ද යන්න නොදන්නා අයත් ඇති. සාමාන්‍ය සරසවි ශිෂ්‍යයන් විමසා බලන්න. ඒ කරුණ මෙහි මතු කළේ අළුත් බලලත් හිමිකාර කණ්ඩායමේ ලොකු ම හයිය වෙන්නේ මේ අවිශිබම නිසා. ‘සිස්ටම් චේන්ජ්’ යනුවෙන් පුළුල් සටන්පාඨයක් ඔවුන් විසින්, ඔවුන් ගේ අයිතිකාරීත්වය යටතේ ගෝල්ෆේස් පිටියට ගේනවා. අපි එක් එක් අය හිතා ඉන්නේ එක එක සිස්ටම් චේන්ජ් ගැන. ඒ ගැන කිසිම මොහොතක අභිමුඛ වීම වළක්වාගනිමින් කවුරුත් වැඩ කළේ ඊනියා ‘නිර්පාක්‍ෂික’ ලේබලයට මුවා වෙලා. හිත් යට, මේස යට ඇත්ත බල ව්‍යාපෘති තිබුණා. ජූලි 05 වෙනිදා යම් පිරිසක් විසින් ‘ගෝල්ෆේස් අරගලකරුවෝ’ ලෙස තමන් හදුන්වා ගනිමින් ‘සම්මුතිය’ නම් ලියවිල්ලක් ප්‍රකාශයට පත් කරනවා. දසදහස් ගණනින් ඒ පත්‍රිකා බෙදා හැරෙනවා.(සම්පත් ලැබෙන විදිය මම අහන්නේ නෑ) මේ ගැන මේ ලියුම්කරු ගෝල්ෆේස් අරගල භූමියේ පැලපදියම් වෙලා හිටපු කණ්ඩායම් කීපයකගෙන් විමසුවාම ඔවුන් ගෙන් බහුතරය කීවේ “ඔහොම ලියවිලි කීපයක් තියෙනවා. අපි ඕක කතා කරල නෑ. අපි දැනුවත්ව නිකුත් කරන ලද එකක් නෙවෙයි” යනුවෙන්. ‘පුරවැසි මහා සභාව’ තුළ මේ අවුල සාකච්ඡා කරන බවක් කී එක් පිරිසක් මටත් ඊට ඇරයුම් කළා. තත්වය මෙහෙම වෙද්දී නිරීක්ෂණය කරන්න ලැබුණේ ‘දැන් රටේ බලපවත්වන්නේ 78 ව්‍යවස්ථාව නොව ,මෙකී සම්මුතිය බව’ විශේෂයෙන් ම පෙසප සම්බන්ධ පිරිස් විසින් තැනින් තැන ප්‍රකාශයට පත් කිරීමයි. ජවිපෙ සහ ඔවුන් අතර බලඅරගලය කුමන්ත්‍රණකාරී වගේ ම එළිපිට මතු වෙන තත්වයකුත් ඒ අතර තැනින් තැන මතු වුණා. ‘කල්ලි හයක් අතර ගෝල්ෆේස් අරගලය බෙදී ගොස් ඇති බවත්, කොතැනක හෝ වැරදීමක් සිදුවෙමින් පවතින බවත්’ අවසන් මොහොතේදී ගෝල්ෆේස් අතැර යමින් සිටි අයෙක් මේ ලියුම්කරුට පැවසුවා.

ත්‍රස්තෝන්මාදවාදී ක්‍රියා ගැන දිව දෙකේ කතා

—————————————————

මේ අතරතුර වාරයේ විනාශකාරී ක්‍රියා, විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ ගේ නිවස ට එල්ල කළ ත්‍රාසෝන්මාදවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අරගලකරුවන්’ යයි කියා ගන්නා පිරිස ප්‍රතිචාර දක්වමින් සිටින්නේ කොහොමද ? “එය අරගලයට මඩ ගැසීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් ම ගිනි තබා ගත්තක් වන අතර රනිල් වික්‍රමසිංහගේ ගෙදර ගිනි තැබිය යුත්තකි!”

මේ සිහිගන්වන්නේ ‘යාපනය පුස්තකාලය කොටි පොත්පත් රැකි නිසා ගිනි තැබිය යුත්තක් වන අතර එය ගිනි තැබුවේ සිංහල ආණ්ඩුව අපකීර්තියට ලක් කරනු වස් කොටි විසින්’ යැයි කීමට නො වේ ද ? තවදුරටත් ‘සිරස ට ගිනි තබා ගන්නා ලද්දේ සිරස විසිනැ’යි කී ‘හෙළිදරව්ව’ වැන්නක් නො වේ ද ? ප්‍රහාරකයන් මොකුන් වූවත් ඔවුනගේ ‘වීරවික්‍රමාන්විත ක්‍රියාව’ ගැන රංජිත් විසින් නරඹා ඇත්තේ බාගෙට වීඩියෝ පටයකි. යකඩ පොලුවලින් ගසමින් ආරක්ෂක කුටි බිද හෙලන අතර පිටේ එල්ලා ගත් බූලි වැනි උපකරණ සහිතව ඇතුළට පනින ප්‍රහාරකයන් ද, “ගල් ගහන්න එපා; අපේ උන් ඇතුළේ ” යයි පිටත සිට ගල්මුල් ප්‍රහාර එල්ල කරන පිරිසට නියෝග දෙන අය ද සහිත වීඩියෝ පට ඔහු විසින් නිරීක්ෂණය කර නැති හැඩයි. ඇතුලට ගිය පිරිස ඇතුලත ආරක්ෂක නවාතැන්වලට ගිනි ලෑමට පෙර ඔවුන් විසින් ම කරන ලද වීඩියෝ ඇති අතර හදුනාගැනීමට අවශ්‍යනම් ඒවායෙන් මූණු කීපයක් ද සොයා ගත හැකි වනු ඇති.

ගිනිලෑමෙන් පසු ඊනියා අරගලකරුවන් හැසිරුන පිලස්තීනු ආකාරයත්, ඉහත සමස්ත ප්‍රතිචාරත් කුමන වර්ගයේ ප්‍රජාතන්ත්‍රික භාවිතයක්දැයි කරුණාකර පැහැදිලි කරනු මැනවි. එවැනි ‘ප්‍රජාතන්ත්‍රික’ භාවිතයන් මා නම් නිරීක්ෂණය කර ඇත්තේ පැසිස්ට් සහ පැසිස්ට් පන්නයේ කල්ලි අතරයි.

හැබෑ ම බබාඋක්කුං ලා, කෛරාටික හිවළුන් සහ හිස් පුරවැසි අවකාශය

—————————————————

අදාල ලියුම්කරු විසින් මතක් කර ඇති ‘බබාඋක්කුං’භාවය ගැනත් සුළු තේරුම් කිරීමකින් මේ ලිපිය ඉවර කරන්නට කැමතියි.

19 සියවසේ සම්භාව්‍ය මාක්ස්වාදී හෙලිදරව් කරගැනීම් පවා දැන සිටි, ප්‍රකාශ කළ සත්‍යයන් වූ සමාජවාදය ගොඩ නැගිය හැක්කේ ද්‍රව්‍යමය වූ නිෂ්පාදන සම්බන්ධතා ඒ කරා සංවර්ධනය වූ තත්වයක් යටතේ මිස කාගේවත් හිතේ පහළ වන ආසාවක්, අවංකකමක්, ඊනියා කැපවීමක් අවම ලෙස සෞන්දර්යයට නැංවීමෙන්වත් නො වේ යන්න වැනි අතිමූලික රීතීන් පවා යට ගසා දමා ඇත්තේ ඇයි ? අමනකමද ? තක්කඩිකම ද ? මේ බව අහන්නට වෙන්නේ ‘සිස්ටම් චේන්ජ්’ යනුවෙන් සමාජවාදයට යන්නට තතනන බබා උක්කුන්ලා සෙට් එක ගැන මතය පැහැදිලි කර ගනු උදෙසා ය.

භූ දේශපාලනික යථාර්ථයන් නොදැන ළදරු වලිප්පු වලින් මුසපත් වීම විසින් ඇද ගෙන යන්නේ මහා ජයග්‍රහණයකට නො ව මහා සංහාරාත්මක විනාශයකටයි. මේ වෙලාවේ ලංකාව, එක් අතෙකින් චීන න්‍යායපත්‍රත්, අනිත් අතින් ඉන්දු-ඇමරිකානු න්‍යායපත්‍රත් අතර ගැටුමක. ඉන්දු-ඇමරිකානු න්‍යායපත්‍රය අනිත් එකත් එක්ක යම් කලමනාකරණ සංහිදියාවකට යමින් ජයග්‍රාහි තැනක. අප සියළු දෙනාමත්, සියළු දේමත්,ඒ ගේම ඇතුළේ ඉත්තන් බව අවබෝධ කර නොගන්නා කිසිවෙක් අදට ඔබින නවීකාරක දේශපාලනයකට තියා මරණාධාර සමිතියකටවත් සුදුසු වෙන එකක් නෑ. ඔවුන්‍ කාටවත් ම ඔය දාම් ලෑල්ලෙන් එහා ජීවිතයක් හෝ ගමනක් නැහැ. අන්න ඔවුන් තමයි නියම බබා උක්කුං ලා.

තව එක ම එක දෙයක් එකතු කළ යුතුයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ගොඩ නගා ඇත්තේ ගැඹුරු සහ හයිය සමාජ සම්මුතියක් මත නොවෙයි. එහෙම සමාජ සම්මුතියක් හදාගන්න අත්‍යවශ්‍ය ‘පුරවැසියා’ නිකම් ම නිකම් වයස පිරුණ පලියට, ඡන්දදායකයෙක් වුණ පලියට හැදෙන්නේ නෑ. එහෙම පුරවැසි සමාජයක් නැතිව දියුණු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක් හැදෙන්නේ නෑ. එතැන තියෙන්නේ අනුපූරක සම්බන්ධයක්.

මේ බව තේරුම් නොගෙන ‘බබා උක්කුං’ වෙන අය ලාංකික ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නේ පට්ට ම හානියක්.

ඒ මෙහෙමයි;

රනිල් සාධකය එක්ක සම්බන්ධිත ලිබරල් ප්‍රතිසංස්කරණ එක අතකින් ඉන්දු-ඇමරිකන්-යුරෝ-ජපන් න්‍යාය පත්‍ර එක්ක සමපාතයි. අනිත් පැත්තෙන් සුබසාධක රාජ්‍යය මත්තේ ගොඩ නැගුනු, රාජ්‍ය ප්‍රාග්ධන හා දේශපාලන බලය මත්තේ ගොඩනැගුනු ස්වදේශික ව්‍යාපාරික ජාලයක ආපස්සට ඇදීමේ පීඩනය එක්ක සමපාතයි. මේකට අපේ කැමැත්ත-අකැමැත්ත අදාල නෑ. මේ දෙපැත්තට ඇදීමක් ඇතුළේ තියෙන හිස්‍ අවකාශයක් තුළ තමයි ‘පුරවැසියා’ සතු ගැබ තියෙන්නේ. රනිල් සාධකය විසින් හැමවිට ම විවර කරන්නේ ඒ ඉඩ.

නවීකාරක, ප්‍රායෝගික දේශපාලනය සදාචාරවාදී ද;උපායමාර්ගික ද ?

—————————————————

එතැනදී සදාචාරයක් ගැන දේශනා වල එල්ලී ඉදීම, පසුගාමී සදාචාරවාදීන් ගේ කදවුර ශක්තිමත් කිරීමක් හැර වෙන කිසිවක් නොවෙයි. සදාචාරය අපේක්ෂා කළ හැකි සමාජයක්, පුරවැසි සමාජයක් ඉස්සෙල්ල ගොඩනගල ඉමු. ඒ තැනදී වඩා වැදගත් වෙන්නේ උපක්‍රමික අරගලය මිස ඔය අපි උඩ තර්ක කරපු සදාචාරාත්මක පදනම නෙවෙයි. අර දාම් ලෑල්ලෙන් එහාට වගේ ම රනිල් සාධකයෙනුත් එහාට යන්න පුළුවන්‍කම ලැබෙන්නේ ජනප්‍රියවාදී රනිල් විරෝධයේ අශුද්ධ සංධානය පරාජය කිරීම හරහා විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ලාංකික අරගල භූමිය දැන් ඇත්තේ හරියට ම මෙන්න මෙතැනයි.