Matugama Pizza Hut

රනිල් වැඩ – මූල්‍ය අරමුදල සමග සාකච්ඡා යළි පීල්ලට – දේශපාලනය යළි ගමට – සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ආරාධනා

රටේ අස්ථාවරත්වය නිසා ඇණහිට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ යළි ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරභාවය පිළිබඳ වාර්තාව ජා.මු.අ. වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජා.මු.අ. සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රමාද වූ මුත්, අගෝස්තු මාසයේදී ඇතිකරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවරදී පැවසුවා. ජා.මු.අ. අනුමැතිය සැප්තැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.

“එහෙන් සල්ලි ගත්තහම හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ, වැඩි වැඩියෙන් විදේශ විනිමය ඕනෑ. අලුත් මාවත් ඕන, අපේ කෘෂිකර්මයේ නවීකරණයක් ඕනෑ. අපි මේ දිහා බලලා වැඩ කරනවාද, නැත්නම් සටන් පාඨ කියනවද? මෙතන ඉන්න පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මේ ගැන හිතලා තීරණය කරන්න ඕනෑ. මොකද අපි මේ අභියෝගය භාරගත්තේ නැත්නම් මේ රට නැති වෙනවා. ඊළග පරම්පරාව අපිට සාප කරනවා. අපි වැටෙනවද, නැගිටිනවද කියන එක අද අපිට තිබෙන අභියෝගයයි. අපි මේක භාරගෙන අලුත් ලංකාවක් හදනවද, ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇති කරනවද, කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවද, අපි අපනයනයට බර වෙන ආර්ථිකයක් ඇති කරනවද? අපේ ගම්මාන නවීකරණය කරන්න ඕන. අපිට තාම ඩිජිටල් ආර්ථිකයක් නැහැ. “

1977 දී ආරම්භ කරන ලද ආර්ථිකයේ කාලය දැන් අවසන් බවත්, වර්තමාන සිද්ධි සමග එම ආර්ථිකය කඩාවැටී ඇති බවත් අලුතින් සිතා ඉදිරියට යා යුතු බවත් ඔහු පෙන්වාදුන්නේය..

“අපේ පළමු යුතුකම නීතිය හා සාමය ආරක්ෂා කිරීමයි. කොයි පක්ෂයේ වුණත්. මම කිසි දවසක ගෙවල් ගිනි තියන වැඩවලට එකඟ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් අපේ විවිධ මත තිබුණට ඒ නිසා අපේ මිත්‍රකම් නැති කරගන්න වුවමනා නැහැ. අපි අලුතින් හිතලා, අලුතින් ඉදිරියට යන්න ඕන. ඒ පණිවිඩය ගමට ගෙනියන්න ඕන. අද ගම හිස්. පොදුජන පෙරමුණෙන් වුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් වුණත් නිශ්ශබ්ද වෙලයි ඉන්නේ. ඇයි නිශ්ශබ්ද වෙන්නේ? ආණ්ඩු බලය අපේ අතේනේ. අපි එකතුවෙලා මේ පණිවිඩය දෙමු.
මම ඒකයි හැම පක්ෂ නායකයෙකුටම ආරාධනා කළේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. එය රටේ ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය. එය සියලුදෙනා පිළිගන්නා දෙයක්. කවුරුත් ඒ ගැන වාද කරන්නේ නැහැ. කොළඹ සමහර අය වාද කරයි, ඒත් ගමේ ඒක නැහැ.

“මෙතන එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ කණ්ඩායම් දෙකම ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම කැමතියි මම ආවහම මේ ශාලාවේ ඉතිරි කොටසත් පිරිලා තියෙනවට. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්, කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන්, බැරිද මේ අයවත් අරන් එන්න. මේක මේ එක්සත් ජාතික පක්ෂයටයි, පොදුජන පෙරමුණටයි සීමා කරන්න වැඩක් නැහැ. ඡන්දයට වෙනම එන්න ඕනනම් ඒක වෙනම එකක්. ඒක පස්සේ කතා කරමු. අද ගමේ ඉන්නවා කන්න නැති අය, රැකියා නැති අය, ඒ ගැන හොයලා බලමු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන වගකීමක් තියෙනවා, ඒ ගැන අලුත ක්‍රමවේදයක් අපි ඊළඟ සති දෙක තුළදී දැනුම් දෙනවා කියලා මම කියන්න කැමතියි.”

පිළිගත හැකි මහේක්ෂ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරන තෙක් ශ්‍රී ලංකාවට අලුත් මූල්‍යාධාර ලබානොදෙන බව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පැවසීය. මෙය දැනට සිදුකෙරෙන ව්‍යාපෘතිවලට අදාළ වන්නේ නැත.

වසර 20 කට පසු එනම් 2002 අගෝස්තුවෙන් පසු ශ්‍රී ලංකාවේ වෙළද ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරිමට සමත් විය. මේ අතර, පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සංචාරක ආදායම්වල වර්ධනයක් ද, 2022 මැයි මසට සාපේක්ෂව විදේශ ප්‍රේෂණයන්ගේ වර්ධනයක් ද පෙන්නුම් කර තිබේ.

විවිධ අසීරු බාධක මැද ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරමින් ඇත. මුල් රූපයේ දැක්වෙන්නේ කොළඹින් බැහැර මතුගම නගරයේ පසුගිය ජුලි 31දා පීට්සා හට් අලෙවිහලක් විවෘත කළ අවස්ථාවේ පීට්සා මිලදීගැනීමට ජනතාව පෝලිමේ සිටි ආකාරයයි.