Ranil-COP-27

රනිල් දන්න අනුරලා නොදන්න දේශගුණික විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ

දේශගුණික විපර්යාස කියන්නෙ මේ වෙනකොට ලෝක නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාව, මාලදිවයින වගේ ඝර්ම කලාපීය දූපත් රාජ්‍ය දේශගුණික විපර්යාස නිසා දැඩි අවදානමකට ලක්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතුවලට නිලධාරීන් පත්කරනකොට, කාර්යාල පිහිටුවනකොට, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27)ට සහභාගී වෙනකොට ලංකාවේ අදූරදර්ශී දේශපාලකයන් එයට ප්‍රසිද්ධියේ සිනාසුණා. අනුර කුමාර දිසානායක වැනි අනාගත නායකයන් වීමට සිහින මවන දේශපාලකයන්ගේ ගැටලුව ඔවුන්ට මේ කාරණා ගැන කිසිදු අවබෝධයක් නැතිකමයි.

ලංකාවේ අනෙකුත් දේශපාලකයන්ට සාපේක්ෂව රනිල් නායකත්වයට සුදුසු වෙන්නෙ ගෝලීය ප්‍රවණතා ගැන රනිල්ට තිබෙන අවබෝධය හා ඉදිරි දැක්ම නිසා. ගෝලීය වේදිකාවකදි අනුකම්පාව නොව පිළිගැනීම ඇතිවෙන විදියට රට මාකට් කිරීමේ හැකියාව රනිල්ට තියෙනවා.

COP 27 සමුළුව අමතමින් රනිල් මෙහෙම කියනවා. “සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුවයි. එහි ප්‍රතිවිපාක දුප්පතුන්ට විඳීමට සිදුවෙනවා. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් දුප්පත් රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම රටවල් ද්විත්ව අනතුරකට මුහුණ දී සිටිනවා. ඔවුන්ගේ ජනගහනයේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීමට සටන් කරන අතරම ආර්ථික වශයෙන් දියුණු වීමට අරගල කරන්නට සිදුවෙනවා. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානි සඳහා වන්දි ගෙවීම සඳහා සංවර්ධිත රටවල් තම අරමුදල් දෙගුණ කිරීමෙන් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කළ යුතුයි.”

රනිල් අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ගෙනයන තලය ඒක.

ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ COP27 සමුළුවේදී සාකච්ඡා කරන ලද ගිවිසුමක් වන දේශගුණය කේන්ද්‍ර කරගත් මූල්‍ය සඳහා ඩොලර් බිලියන 1 ක් දක්වා වූ ස්වභාවික ණය හුවමාරු ගනුදෙනුවක් (debt-for-nature swap) සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

එවැනි ගිවිසුම් ජෛව විවිධත්වය විනාශයට සහ දේශගුණික විපර්යාසවලට එරෙහි ගෝලීය සටන සඳහා වියදම් පියවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ලෝක නායකයන් මුහුණ දෙන විසඳාගත නොහැකි ගැටලුවක් විසඳීමට දරන උත්සාහයේ කොටසකි.

ණය ප්‍රශ්න ලිහිල් කිරීම සඳහා ස්‌වභාවික ණය හුවමාරු කිරීමේ හැකියාව ගවේෂණය කරන ඉක්වදෝරය සහ කේප් වර්ඩ් ඇතුළු තවත් රටවල් කිහිපයක් අතර ශ්‍රී ලංකාව ද තිබෙනවා.

සොබාදහම සඳහා ණය හුවමාරු ගනුදෙනුවක් යනු ද්විපාර්ශ්වික ගිවිසුමක් වන අතර, විදේශීය ණය මිලදී ගැනීම, එම ණය දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සහ ඉන් ලැබෙන ආදායම සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීම එයට ඇතුළත් වෙනවා. ගනුදෙනුවේදී වාණිජ බැංකු (හෝ රජයන්) මුල් ණය මුදලේ සම්පූර්ණ වටිනාකමට වඩා අඩුවෙන් එම ණය නැවත විකිණීමට කැමති විය යුතුයි.

රොයිටර් වාර්තා අනුව, ඉක්වදෝරය ඩොලර් මිලියන 800ක් මේ අන්දමින් ලබාගෙන තිබෙනවා. බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි දූපත් සමූහයක් වන කේප් වර්ඩ් මෙමගින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් දක්වා වටිනා මූල්‍ය හුවමාරුවක් ලබාගැනීමට ආසන්න බව වාර්තා වෙනවා.