V. Manivannan

යාපනය නගර සභාවේ පොලිසිය හා පළාත් පාලන පොලිස් බලතල

යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි.

මෙම ‘පොලිසිය’ පොලිසියක් වූයේ ඒ පොලිසියේ නිල ඇඳුම කොටි පොලිසියේ නිල ඇඳුම සිහිකරන එකක් බව ඇතැමෙකු කියන නිසාය. නැතිනම්, එය වනාහි නගර සභාවලින් පත් කරනු ලබන පාකිං ඇටෙන්ඩන්ට්ලාට වඩා වෙනස් එකක් නොවේ. කොටි පොලිසිය මෙන් ඔවුන් සන්නද්ධ නැත.

13වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය අනුව, උතුරු පළාත් සභාවට පොලිස් බලතල හිමිය. මධ්‍යම රජය විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස එම බලතල ක්‍රියාත්මක කිරීම වළක්වා තිබේ.

බලය බෙදාහැරීමේදී පළාත් සභාවටත් වඩා පළාත් පාලනය වෙත බලය ලබාදීම ප්‍රජාතාන්ත්‍රිකය.

යාපනය පොලිසියේ පංච පුද්ගල පොලිස් ඒකකය මෙම කරුණ කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා කදිම උද්දේශන මෙවලමකි.

ශ්‍රී ලංකා පොලිසියේ 80,000ක් පමණ වන කේඩරයෙන් අඩක් පමණ කරන්නේ ප්‍රභූන් ආරක්ෂා කිරීමයි. මහජන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් නැත. මෙය ආර්ථිකයට බලපාන අන්දම ගැන පසුගියදා සාකච්ඡාවකදී යම්කිසි පුද්ගලයකු සඳහන් කළේය. එම පුද්ගලයා පැවසුවේ වඩා හොඳ ෂීට් රබර් නිෂ්පාදනය කිරීම සඳහා රබර් නිෂ්පාදකයන් පෙළඹෙන්නේ නැත්තේ දුම් ගෙවල් හොරු කැඩීමෙන් සිදුවන අලාභය නිසාය. අද වනවිට මහජන දේපළ ආරක්ෂා කිරීමේ වගකීමක් මහජන මුදලින් වැටුප් ලබන පොලිසියට ඇති බව පොලිසියට මෙන්ම පොලිසියට පඩි ගෙවන මහජනතාවට ද අමතක වී තිබේ.

මහජන ආරක්ෂාවට අදාළ වන තැන තැන කෙළ ගැසීම, අවිධිමත් ලෙස කුණු කසළ බැහැර කිරීම, අවිධිමත් ලෙස වාහන ගාල් කිරීම වැනි කාර්යයන් පාලනය කිරීම සඳහා නගර සභාව මෙවැනි ආරක්ෂක සේවයක් පිහිටුවීමෙහි කිසිදු වරදක් නැත.

එයට දක්වන ලද පදනම් විරහිත විරෝධයෙන් අවසානයේදී සිදුවූයේ පොලිස් බලතල පිළිබඳ අලුත් කතාබහක් ද නිර්මාණය වීමයි.

බලය බෙදීමේදී පළාත් සභාවලටත් එහාට යමින් පළාත් පාලන ආයතන දක්වා බලය බෙදිය යුතු බව පළාත් සභාවලට විරුද්ධ අය පවසති. නාගරික දේපළ හා පරිසරය ආරක්ෂා කරගැනීම, නිසි පරිදි වාහන ගාල් කිරීම, නාගරික මාර්ග විනය පවත්වාගැනීම වැනි කටයුතු වෙනුවෙන් පළාත් පාලන ආයතන සතු බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මෙවැනි පොලිසියක් ඉතා ප්‍රයෝජනවත් වේ.

පළාත් පාලන ආයතනවල වර්තමානයේදී නම් සභාපතිවරුන් වී සිටින්නේ බුද්ධිමතුන් පිරිසක් නොවේ. ජාතික දේශපාලනඥයන්ට බැලමෙහෙ කිරීමෙන් බලය ගොඩනගාගත් මැරවරයන් හා සොරුන් පිරිසකට පොලිසියක් ද භාරදීම නරින්ට කුකුළන් භාරදීම වැනි වැඩකි. එහෙත්, රටක රාජ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමේදී අප අනාගතවාදී විය යුතුය. වර්තමානයේදී සිටින ආකාරයේ පළාත් පාලන ප්‍රධානීන් පිරිසක් හැමදාමත් පළාත් පාලන ආයතන තුළ සිටිය යුතු නැත.

යාපනය පුරපති වී. මනිවන්නන් යනු නීතීඥවරයෙකි. මුල් ඡායාරූපය බලන්න. ලංකාවේ බොහෝ සිංහල ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට වඩා මනුස්ස පෙනුමක් හෝ මනිවන්නන්ට ඇති බව පිළිගත යුතුය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කොටි පොලිස් නිල ඇඳුම ප්‍රවර්ධනය කළ බවට එක එක ගොබ්බයන්ගේ කේලම් අසාගෙන බව පෙනේ. පහත දැක්වෙන්නේ දකුණේ සිංහල ප්‍රදේශයක නගර සභාවක් විසින් සේවයේ යොදවා තිබෙන ආරක්ෂකයකුගේ නිල ඇඳුම හා එකී ‘කොටි පොලිසියේ’ නිල ඇඳුමයි.

අවසානයේදී මෙයත් කිව යුතුය. ශ්‍රී ලංකා පොලීසිය තවමත් අඳින, රටට නොගැලපෙන කාකි නිල ඇඳුම සම්බන්ධයෙන් සමාජයේ පවතින නිශේධාත්මක ආකල්ප ඉවත් කරන්නටත් එක්ක මෙවැනි නිල ඇඳුමක් පොලිසියට හඳුන්වා දිය යුතුය. කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද වර්ණවලට පවා බියවීම දීනකමකි.

ආරම්භයක් ලෙස පූර්ණ ස්වාධීන පළාත් පාලන පොලිසියක් වෙනුවට පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පළාත් පාලන පොලිස් ඒකක පිහිටුවිය හැකිය. එමගින් පළාත් පාලන ආයතනය සතු පොලිස් බලතල ක්‍රියාත්මක කළ හැකිය.

පළාත් පාලන ආයතන සතු බලතල ගැන පොත් පිංචක් මෙතැනින් කියවන්න.

මේ ලිපියත් කියවන්න: මොකක්ද මේ දෙන්නට යන සයින්දමරුදු නගර සභාව?

Creative Content Consultants