Marxists

මේ විප්ලවීය මොහොතේ වම බලය නොගන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේ බලවේගවල තිබුණේ ඒ දැක්ම. හැබැයි, ලංකාවෙ සමාජ යටිතලය තුළ ඒ දෘෂ්ටිවාදය පැළවුණේ නැහැ.

දැන් වුණත්, වරාය නගරය වගේ ව්‍යාපෘති ගැන අපි හිතන විදියයි, රටේ බහුතර ජනයා හිතන විදියයි අතර වෙනස නිර්මාණය වෙන්නෙ ඔතනින්. මේක නොරොච්චෝලෙ වගේ උදාහරණයකින් පෙන්නුවොත් අපි නම් හිතන්නෙ චීන්නු ඔය නිතර කැඩෙන අටමගල අයිති කරගෙන, නඩත්තු කරගෙන අපට යම් සාධාරණ මිලකට විදුලිය දෙනවා නම් අපට මොකද කියලයි. ඉන්දියාව නැගෙනහිර ජැටිය අරගෙන බිස්නස් ගෙනල්ලා අපට එයින් වාසියක් සැලසෙනවා නම් මොකද කියලායි. චීන්නුන්ට හම්බන්තොට වරාය බදු අරගෙන උනුත් වාසි අරන් අපටත් වාසියක් අත්පත් කරදෙන්න පුළුවන්නම් මොකද කියලායි. මේ වැටිල ඉන්න වලෙන් මුලින්ම ගොඩඑන්න ඕනැ. ඊට පස්සෙ මේ ව්‍යාපෘති අවුරුදු 30කට 35කට වගේ බදු දීලා තිබුණා නම් බද්ද ඉවර වෙනකොට අපට ඒවා සම්බන්ධයෙන් වැඩකරන්න පුළුවන් තත්වයක් ගොඩනගාගන්න පුළුවන්.

හැබැයි මේ සියලු කාරණාවලදි රටේ බහුතර ජනයාගේ මතය මේවා ජාතික දේපල, ඒව විකුණන්න බැහැ, දේශීය පෞද්ගලික අංශයටවත් දෙන්න හොඳ නැහැ. අපි රජය යටතෙ තියාගෙන පාඩු වින්දත් කමක් නැහැ, රජය කියන්නෙ ජනතාව වගේ ජාතික සමාජවාදී අදහස්. අපි මූලිකවම රජය සමාජවාදීය කියල පිළිගන්නෙ නැහැ. ඒ වගේම ඒක ධනේශ්වරත් නැහැ. රජය වැඩකරන ජනතාව සූරාකනවා වගේම ව්‍යවසායකයන්වත් දරුණු ලෙස සූරාකනවා. එසේ කරමින් රජයේ පාර්ශ්වකරුවන් වන දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ සිට රජයේ සේවකයන් දක්වා පිරිස එක්ක ලාභය බෙදාගන්නවා. හැබැයි, මේ රටේ ජනතාව මාරාන්තික විදියට මේ ක්‍රමයට පක්ෂයි. ඒක වෙනස් කරන්න අපි ගෙනෙන වැඩපිළිවෙලට විරුද්ධයි. ඒකෙ නායකයා වුණ රනිල් වික්‍රමසිංහ ඡන්දෙත් පැරදුණේ ඒ නිසා.

වමට මෙච්චර වාසිදායක පොළවක් තියෙද්දි අපට රාජ්‍ය බලය ගන්න ශක්තිය නැහැ කියලා ඇතැමුන් කියන එක පිළිගන්න බැහැ. ශක්තිය ඉබේ හැදෙන්නෙ නැහැ. ඒක හදන්න ඕනැ. බිස්නස් එකක් වගේ තමයි. ඒකෙදි ලොකු අවදානමක් ගන්න වෙනවා. මේ රටේ වාමාංශිකයන් මොන අඩුපාඩු සහිතව හරි 71, 89 එහෙම අවදානම් ගත්තා. ක්ෂුද්‍ර කණ්ඩායම් වගේම උඩුවරගේ හෙන්රි පෙරේරා වගේ තනි පුද්ගලයොත් එහෙම අවදානම් ගත්තා.

සිංහල ජාතිකවාදීන් ද බොහෝ විට සමාජවාදී අදහස් තිබෙන අය. බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ධාරාවෙන් පැනනැගුණ බලවේගය ගෝඨාභය රාජපක්ෂගේ තනි සිංහල ආණ්ඩුවෙන් කූටප්‍රාප්තියට පත්වුණ නිසා, ඊළඟ අවස්ථාව ඒ හා ආසන්න ප්‍රතිපත්ති මාලාවක් ප්‍රවර්ධනය කරන වම විසින් ලබාගැනීමේ කිසිම වරදක් නැහැ. එවැනි

කළුගල්වල ඔලුව ගහගන්න කියල අපි වමට කියන්නෙ නැහැ. තව පරම්පරාවක් ගඟේ යවන්න ඉඩදෙන්නත් බැහැ. මේ වෙලාවෙ එවැනි මිලක් ගෙවල බලය ගත්තයි කියලා මොනව කරන්නද කියන එකත් පැහැදිලි නැහැ. මුලින්ම ඒක ගැන ගැඹුරු සාකච්ඡාවක් කරන්න ඕනැ. කළ හැකි දෙයක් තිබෙනවා නම් බලය ගත්තට කමක් නැහැ.

හැබැයි, දැන් මෙහෙම දෙයක් වෙනවා. මේ වගේ විප්ලවීය අවස්ථාවක් අතහරිනවා නම්, ආයෙ සමාජයෙන්, ගෙදරින්, බිරිඳගෙන්, ළමයින්ගෙන් ඇරියස් ඉල්ලන්න බැහැ අපි ලොකු සමාජ වැඩක ඉන්නෙ, ඒ නිසා උඹල ඒකට අපට නිදහස දෙන්න ඕනැ, අපට ගරුකරන්න ඕනැ, අපට ඉතිහාසයෙන් පවරපු වගකීමක් තියෙනවා, උඹල මොන පණුවොද වගේ කතා කියලා.

මේ විප්ලවීය අවස්ථාව පාවිච්චි කරන්න වමට බැරිනම්, අපි යෝජනා කරන ඉන් මෙහා විසඳුමට විරුද්ධ වෙන්නත් වමට අයිතියක් නැහැ. අපි යෝජනා කරන්නෙ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ශක්තිමත් කරන එක. 2015-19 කාලෙ ආණ්ඩුව කළේ ඒක. වත්මන් ආණ්ඩුවටත් ඒ හැර යන්නට වෙන පාරක් නැහැ. නොබියව ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරන ආණ්ඩුවකට අපි සහයෝගය දෙනවා. හැබැයි කලින් සැරේ වගේ ඒක කඩාකප්පල් කරන්න වමට ඉඩ දෙන්නත් බැහැ.

එක්කො වම බලය අරන් අඩුම ගානෙ තිබෙන ක්‍රමය රැකගන්න ඕනැ. නැතිනම් ඒක වෙනස් වෙන්න, වෙනස් කරන්න ඉඩදෙන්න ඕනැ.