The cat arrested by the Prisons Department for smuggling heroin

මේ තරම් සියුමැලි ද හෙරොයින්

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30

කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය.

Translations by Creative Content Consultants

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දක්වා රාජ්‍ය නිලධාරීන් පවා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව දැන් හෙළිදරව් වී හමාර ය.

ශ්‍රී ලංකාවේදී අසුවන මත්ද්‍රව්‍ය තොග අති විශාල ය. දින දෙකකට පෙර රත්ගම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 11ක් අත්අඩංගුවට ගන්නා ලදී.

බස්නාහිර පළාත තුළ අගෝස්තු 12 දින පමණක් සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය  ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 393 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේ ය. එදින පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ දෙකක් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගන්නා ලදී.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලිමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් අත්අඩංගුවට ගත් බව පසුගිය ජුලි 31දා වාර්තා විය.

ජුනි මස 16දා මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය මැයි 13වන දින මධ්‍යම රාත්‍රී මහබාගේ පොලිස් වසමෙහි කරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝ 226ක් පමණ අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා විය. එහෙත්, පසුව හෙළිදරව් වූයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මෙම හෙරොයින් තොගය ඇත්තෙන් ම ප්‍රවාහනය කර තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම නිලධාරීන් පිරිසක් බවයි. මෙම පිරිස අත්අඩංගුවට ගත් බව කියූ හෙරොයින් අතරින් ප්‍රමාණයක් විකුණා මුදල් ලබාගත් මෙම නිලධාරීන් ඉතිරි හෙරොයින් තොග අත්අඩංගුවට ගත් බවට නාට්‍යයක් රඟදක්වා ත්‍යාග ද ලබාගෙන ඇති බව මාධ්‍යවල පළ විය.

පසුගිය මාර්තු මස 2දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝ මීටර් 600ක් ඔබ්බේ ජාත්‍යන්තර මුහුදේ කරන ලද වැටලීමකින් හෙරොයින් කිලෝ 330ක් සහ අයිස් කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය ජනවාරි 30දා බණ්ඩාරගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 192ක් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, මට මගහැරුණු තවත් වාර්තා රැසක් තිබිය හැකි ය.

මෙතරම් මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට කුමකට ද? ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් මෙතරම් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පරිභෝජනය කරනවා ද?

2019 ඔක්තෝබර් 10 සිට නොවැම්බර් 10 දක්වා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් ක්‍රියාත්මක කරන ලදී. එමා මාසය තුළ පුද්ගලයන් 4,297ක් සහ හෙරොයින් කිලෝ 67.5ක් අත්අඩංගුවට ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ විමසා බැලූ කල අපට අනුමාන කළ හැකි කාර්යයක් වන්නේ ශ්‍රී ලංකාව මත් ලෝලීන් හා ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් පිරිසක් පමණක් සිටින රටක් නොවන බවයි. මේ රට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක වන බව අනුමාන කළ හැකි ය. මත්ද්‍රව්‍ය ආර්ථිකය ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලනික දේහය තුළ ගැඹුරට මුල් විහිදී තිබේ.

2010-2015 කාලය අතරතුර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවද්දී, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත යයි අනුමාන කළ හැකි තත්වයක් මත පොලිසිය විසින් දේශපාලක නිමල් ලන්සාගේ නිවසෙහි ආන්දෝලනාත්මක වැටලීමක් සිදු කරන ලදී. එම වැටලීම අවසන් වූ සැණින් ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් එම ස්ථානයට ගොස් මාධ්‍ය ඉදිරියේ නිමල් ලන්සා වැළඳෙගෙන තම අනුග්‍රහය ඔහුට තිබෙන බව රටට පෙන්වූයේ ය.

එකී නිමල් ලන්සා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ම රාජ්‍ය ඇමති තනතුරකට පත් කරන ලදී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටින දුමින්ද සිල්වාගේ පවුලට අයත් ඒබීසී මාධ්‍ය ජාලය වර්තමාන ආණ්ඩුව සමග ඉතා සමීප ය.

ආණ්ඩුවට ඉතා සමීප භික්ෂුවක වන බෙංගමුවේ නාලක හිමියන් ගංජා නීතිගත කිරීම පිළිබඳ පසුගියදා කතා කළේ ය. මරණ දඬුවම ලැබ සිටින දුමින්ද සිල්වාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් පිරිසක් පවා ඉදිරියේදී කලඑළි බැසිය හැකි ය. මේ සිදුවීම් එක එකක් සමග සම්බන්ධ නැති බව මතුපිටින් පෙනුණත්, ඒවා එකට බැඳතබන සියුම් හුයක් හඳුනාගත හැකි ය.

ආණ්ඩුව මත්ද්‍රව්‍යවලට එරෙහි සටනක් කරන බව පවසන්නේ ද මෙම සංදර්භය තුළ ය. එහිදී, මත්ලෝලීන්, සුළු හා මධ්‍ය පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඇතැම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවා අත්අඩංගුවට පත්වන්නටත්, ඇතැම් විට පරලොව යන්නටත් ඉඩ තිබේ. එහෙත්, මත්ද්‍රව්‍ය ජාවාරම්වල මහ ඇණ මුරිච්චි එම ජනප්‍රිය මෙහෙයුම්වලින් බුරුල් වේ යයි සිතිය නොහැකි තරමට රාජ්‍යයේ හා දේශපාලනයේ ගැඹුරට මත්ද්‍රව්‍ය කාවැදී ඇතැයි අපි සිතන්නෙමු.

Translations