Ballot boxes

මේ ඡන්දෙදි ජිල්මාට් ගැහුව විදිය

අජිත් පැරකුම් ජයසිංහ

මනාප අඩු වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙකු තමන්ට මනාප අඩු වී වෙනත් අයට වැඩි වූයේ කිසියම් කුමන්ත්‍රණයක් නිසා බව කියන්නට පටන් ගෙන තිබේ.

Translations by Creative Content Consultants

මෙවැනි කුමන්ත්‍රණ කතා හැම ඡන්දයකට ම පසු අසන්නට ලැබේ. සුප්‍රකට ම කුමන්ත්‍රණ කතාව 2010 ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පරදා මහින්ද රාජපක්ෂ ජයගත් පසු කරළියට පැමිණි ජිල්මාට් කතාවයි. මෙම ජිල්මාට් කතාව තහවුරු කරන කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි විය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී රැල්ලට අසු වී බොහෝ හිස් කෝම්බ මනාප ලැයිස්තුවලට ඉහළට ම ගසාගෙන පැමිණීම හේතුවෙන් ඇතැමෙකුට විස්මයක් ඇති වී තිබේ.

කලක් තිස්සේ දේශපාලනය කළ, මහජන සේවය කළ, මනාප අඩු වූ අපේක්ෂකයෝ සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව තමන්ගේ මනාප වෙනත් අය සොරකම් කළ බව කියති.

එහෙත්, මැතිවරණ රාජකාරි, ඡන්ද ගණන් කිරීම් සිදු කර අත්දැකීම් තිබෙන අය හරහා අප විසින් කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ එවැන්නක් කිරීමට තිබෙන හැකියාව අවම බවයි. මනාප දස දහස් ගණන් එහා මෙහා කරගැනීම කිසි සේත්ම කරන්නට බැරි ය. ඡන්ද ගණන් කිරීම හොර රහසේ සිදුවන්නේ නැත. මෙවර රෑ එළිවෙනකල් ඡන්ද පෙට්ටි තබාගනු ලැබුව ද ඒවාට විධිමත් ආරක්ෂාවක් තිබිණි. ඒවා පැහැදිලි කර දීම මැතිවරණ කොමිසමේ වැඩකි.

විවිධ ස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටිවල අපේක්ෂකයන්ට මනාප වැටෙන ආකාරය විවිධ ය. යම් තැනකදී ඉහළින් සිටින අයෙකු තවත් තැනකදී පහළට වැටී අවසාන ගණනයේදී යම් අගයක් ලබාගනී.

මුලදී මනාප අඩු බව පෙනුණු අයෙකු අවසානයේදී ඉහළ මනාප ලබාගන්නේත්, මුලදී ඉහළින් මනාප තිබුණු පෙනුණු අයෙකු අවසාන ගණනයේදී අඩුවෙන් මනාප ලබාගෙන තිබෙන්නේත් එම හේතුව මත ය.

මැතිවරණයකදී මනාප ලබාගැනීම යනු ඉතා සංවේදී කාරණයකි. මනාප වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කළ අය මෙන් ම, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අනතුරුව කරන දේ ගැන අහස උසට බලාපොරොත්තු තබාගත් අය ද සිටිති. එසේම, පරාජය දරා ගැනීම බොහෝ දෙනෙකුට දුෂ්කර ය. විශේෂයෙන් ම ප්‍රතිවාදීන් සමග වහසි බස් දොඩාගත් ඡන්ද සටනකදී පරාජය කටුක අත්දැකීමකි. එම නිසා අපේක්ෂකයන් මනාප ප්‍රශ්න දෙස බලන්නේ අධි සංවේදීභාවයකින් යුක්තව හා මානසික ආතතියෙනි. එබැවින් ඔවුන් වහා ආවේගශීලී වේ. පැරදුණු අපේක්ෂකයන් ඒ මොහොතේ සිටින්නේ විෂාද මානසිකත්වයක ය.

දේශපාලකයන් මැතිවරණ කාලවලදී සැරිසරන්නේ මොබ් එකක් සමග ය. මොබ්වලට සාමාන්‍යයෙන් ම බුද්ධියක් නැත. එබැවින් තම නායකයාගේ හෝ නායිකාවගේ ආවේග ඔවුහු බෙදාහදා ගනිති.

භාවාතිශය පුවත් සොයා යන මාධ්‍යකරුවන්ට මෙවැනි ක්ෂතියෙන් සිටින මිනිසුන් නියම ගොදුරු ය. ඔවුන් කරන ප්‍රකාශ මාධ්‍යවල පළ වෙනවාත් සමග ම සමාජ මාධ්‍ය සුපුරුදු පරිදි ඒවා එක හත කරති.

දේශපාලකයන් ගැන, රජය ගැන, මැතිවරණ කොමිෂම ගැන, ආරක්ෂක අංශ ගැන සමාජයේ විශ්වාසයක් නැත. මෙවැනි ප්‍රශ්න මතු වූ විට ඒවායේ ඇත්ත, නැත්ත පැහැදිලි කර දීමට මහින්ද දේශප්‍රිය මහතාවත් ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වී පැහැදිලි කළත් කවුරුවත් විශ්වාස කරන්නේ නැත.

අවුලින් පිරි සමාජයක වාසය කරන මිනිසුන් වතුර කොරහේත් කිඹුලන් ඇතැයි සැක කරන එක ස්වාභාවික ය. ඕනෑම කුමන්ත්‍රණ න්‍යායක් පිළිගැනීමට අපි සැදී පැහැදී සිටින්නෙමු. සත්‍යය සරල දෙයක් බව පෙනුණු විට අපට එය අදහාගැනීමට පවා බැරි වෙයි.

Translations