Mahinda Deshapriya

මැතිවරණ මාධ්‍ය උපමාන කුමට ද?

මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති

(ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.)

සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතය හැඩගැස්වීම සඳහා මුල් කාලයේ රැස්වීම්, ගෙන් ගෙට කැන්වසින්, පත්‍රිකා ආදිය මගිනුයි. ඒ නිසා හැම ඡන්ද පනතකම තිබෙන පරිදි පෝස්ටර් ගැසිය හැක්කේ රැස්වීම් භූමියේ පමණයි. ගෙන් ගෙට යන්නට බැහැ. ඡන්දය ආයාචනා කරන්න බැහැ. අල්ලස් දෙන්න බැහැ. සංග්‍රහ කරන්න බැහැ. මෙවැනි කරුණු තමයි තිබුණෙ.

Translations by Creative Content Consultants

කලක් යනකොට පෙනුණා පුවත්පත් මගින්, රේඩියෝවලින් ආදියෙන් ප්‍රචාරය කරන බව. ඒ නිසා තමයි මාධ්‍ය පාලනයක් අවශ්‍ය වුණේ. (2001දි 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පළමුවරට මැතිවරණ සඳහා මාධ්‍ය මගපෙන්වීම් හඳුන්වා දුන්නෙ.)

මාධ්‍ය පාලනය කියන්නේ ප්‍රකාශනයේ නිදහස ඇවිරීම. ඡන්දය කියන්නේත් අදහස් ප්‍රකාශනයක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිසා, එම අයිතියටත් එහා තිබෙන පාලකයන් තෝරාගැනීමේ අයිතියට බාධා වෙනවා නම් අපි කොයි අයිතිය ද පාලනය කරන්නට ඕනැ?

ජනමනස වෙනස් කිරීම මාධ්‍ය හිමිකරුවන්ගේ පාලනයෙන් සිදුවෙනවා නම්, එය ද මාධ්‍ය උපමාන? මාධ්‍යයෙන් මෙවර ඇති කළ මතය කොපමණ ද යත්, සමාජ ජාලවල සාකච්ඡා වුණා සිංහල බෞද්ධ නොවන අයට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව. එතරම් ම වැරදි මත පතුරුවාහැර තිබුණා.

මාධ්‍ය පාලනය මිථ්‍යාවක්. එය ලොව කිසිම රටක කර නැහැ. එය කරන්නට පුළුවන් යකඩ සපත්තුවෙන්, තුවක්කුවෙන් විතරයි. ඒත් එකඟතාව මත සදාචාරවත් මාධ්‍යයක් හදන්නට පුළුවන්. මෙම මාධ්‍ය උපමාන කාගෙවත් බෙල්ලට එල්ල කළ කඩුවක් නෙමෙයි.

මාධ්‍ය උපමාන අවශ්‍ය වුණේ ජනතාව තමන් ඇසූ, දුටු, කියවන දේ විශ්වාස කරන නිසා. ශිෂ්ට සමාජයේ අපි ඉගෙන ගන්නේ ප්‍රාථමික මිනිසා කළ සේ අත්දැකීම්වලින් නොවන නිසා. ඒ නිසා තමයි මාධ්‍ය උපමානවලට අනුගත විය යුතු යුතු.

කෙනෙකුට අහන්නට පුළුවන් මෙය ප්‍රායෝගික ද, සියලු දෙනාට එක ලෙස සලකනවා ද කියලා. මැතිවරණෙදි වුණත්, අපේක්ෂකයන් සියලුදෙනාට එක සමාන ලෙස සලකන්නට බැහැ. ඇතැම් අපේක්ෂකයන් වෙනත් අය වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජ අපේක්ෂකයන්. ඔවුන් ඡන්ද අඩුවෙන් ගැනීම නෙමෙයි වැදගත්.

එක් කාලයක රාජ්‍ය මාධ්‍යවල මැතිවරණ කාලේ අලියා බීම දැන්වීමවත් ප්‍රචාරය කළේ නැහැ. ඒත්, දැන් අපි ඉන්නේ කොතැන ද? රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් මෙවර විධානයක් පනවනවා. මැතිවරණ මාධ්‍ය උපමානවලට අනුගතව කටයුතු නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීන් මැතිවරණ කොමිසන් සභාවේ විධාන කඩ කරනු ලැබුවා සේ සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන යටතේ ඔවුන්ට දඬුවම් ලබා දෙනු ඇත.

මෙතනදි රාජ්‍ය මාධ්‍යවලට කෙණහිලි කරනවා නෙමෙයි. අපි අපට අල්ලා ගන්නට පුළුවන් අය අල්ලාගන්නවා. ඒ රාජ්‍ය දේපල. පෞද්ගලික මාධ්‍ය ඔවුන්ගේ මුදල්. හැබැයි, තරංග මාලා අපේ. ඔවුන් බදු ගෙවනවා විය හැකියි. ඒ නිසා පෞද්ගලික මාධ්‍යත් මේ උපමානවලට අනුගත විය යුතුයි.

නොකළොත් මොනවද කරන්නට පුළුවන් කියලා ඇතැමෙකු අහනවා. අපට පුළුවන් ඒ ඒ මාධ්‍ය ආයතන අසවල්, අසවල් ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා ය කියා ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට පුළුවන්. පුවත්පත් දැන්වීමක් පළ කරන්නට පුළුවන්. අපි වෙන මොනවා කරන්න ද? මෙය කළ යුත්තේ එහෙම නෙමෙයි. අප කළ යුත්තේ අවබෝධයකින් යුතුවයි. මාධ්‍ය උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යවල වගකීමක්

මාධ්‍ය උපමාන 30 අතරින් සංක්ෂිප්ත කරන ලද වැදගත් උපමාන 16ක් පහත පළ වේ. උපුටාගැනීම සමබිම වෙබ් අඩවියෙනි.

01. සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති සහ දේශපාලන කටයුතු සම්බන්ධ වැඩසටහන්වල නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතුය.

02. යම් අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් ලැබෙන පරිදි මාධ්‍ය ආයතනයක ඉඩ ලබා නොදිය යුතුය.

03. ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ විද්‍යුත් මාධ්‍ය මගින් අදහස් දැක්වීමේදී ව්‍යාකූල සහ පක්ෂපාතී වීමට ඉඩ ඇති බැවින් ප්‍රවෘත්ති පත්‍රවල කර්තෘ වාක්‍ය පිළිබඳ අදහස් නොදැක්විය යුතුය.

04. රූපවාහිනි, ගුවන්විදුලි වැඩසටහන්වල එක් පාර්ශ්වයක් ප්‍රවර්ධනය කරන හෝ තවත් පාර්ශ්වයකට අගතියක් ගෙන දෙන පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය.

05. මැතිවරණ කාලසීමාවේ මැතිවරණය සෘජුවම සම්බන්ධ වන වැඩසටහනක් ප්‍රචාරය කරන්නේ නම් පිටපත් රචක, නිවේදක හා සංස්කාරකවරයාගේ නම් හෙළිදරව් කළ යුතුය.

06. යම් අපේක්ෂයෙකුට විරුද්ධව තහවුරු නොකළ හැකි සහ නිරවද්‍යතාව ඔප්පු කළ නොහැකි චෝදනා ප්‍රචාරය නොකළ යුතුය.

07. කණ්ඩායම් සාකච්ඡා සඳහා සහභාගිවන්නන් තෝරාගැනීමේදී සියලු‍‍ම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිවන්නන්ගේ සංයුතිය තුලනය වන ආකාරයෙන් සාධාරණ ලෙස කටයුතු කළ යුතුය.

08. වැඩසටහනකට සහභාගි වන යම් තැනැත්තකු ප්‍රවීණත්වයක් නොදක්වන යම් භාෂාවක් යොදා ගනිමින් එම සහභාගිවන්නාට අගතියක්වන ආකාරයට වැඩසටහන මෙහෙයවීමෙන් වැළකිය යුතුය.

09. ඡන්දයක මත විමසුමක ප්‍රතිඵල විකාශය කරන්නේ නම් එම මත විමසුම සිදු කරන ලද සංවිධානයේ නම, ඒ සඳහා මුදල් ලබා දුන් ආයතන, ඒ සඳහා යොදා ගන්නා ලද ක්‍රමය, නියැදියේ ප්‍රමාණය, දෝෂ සීමාව සහ ක්ෂේත්‍රයේ සමීක්ෂණය කළ කාලසීමාව සඳහන් කළ යුතුය. එමෙන්ම එම මත විමසුම පවත්වන ලද අවස්ථාවේ පැවැති මහජන මතය පමණක් එයින් පිළිබිඹු වන බවද ප්‍රකාශ කළ යුතුය.

10. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිත අවසරයක් නොමැතිව යම් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ හෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් තුළ ඡායාරූප ගැනීම, වීඩියෝගත කිරීමෙන් වැළකිය යුතුය.

11. මැතිවරණ දිනයට පෙරාතුව විකාශය කරන ලද අපේක්ෂයන් පෙනී සිටින වැඩසටහන් සහ ප්‍රකාශ ඡන්ද විමසීමේ දිනට පෙරාතුවම පවතින නිහඬ කාලසීමාව තුළ දී ප්‍රචාරය කිරීම නොකළ යුතුය.

12. ආගමික විශ්වාස, ඇදහිලි, කථන භාෂා, වාර්ගිකත්වය, චාරිත්‍ර හා කුල ගෝත්‍ර ඇතුළු විවිධ හේතු පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ වෛරය හා නොඉවසනසුළු බව ඇති වන හෝ ඇති කරවන ආකාරයට ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතුය.

13. සෑම මාධ්‍ය ආයතනයක්ම, සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාකාරීන් අතර වෛරී සහගත දේශපාලනයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු ප්‍රචාරය කිරීමෙන් වැළකිය යුතුය.

14. යම් අපේක්ෂකයෙකු විසින් අතීතයේ දී කරන ලද ප්‍රකාශයක් එම ප්‍රකාශය කරනු ලැබූ තැනැත්තාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව නැවත පළ කිරීමෙන් හෝ නැවත විකාශය කිරීමෙන් වැළකිය යුතුය.

15. නිර්නාමික දැන්වීම් හෝ ප්‍රචාරණ හෝ ව්‍යාජ තැනැත්තන් හෝ සංවිධානවල නම් යටතේ කරනු ලබන දැන්වීම් හෝ ප්‍රචාරණ ආවරණය නොකළ යුතුය. ඒ සම්බන්ධයෙන් වන වගකීම අදාළ මාධ්‍ය ආයතන වෙත පැවරේ.

16. මැතිවරණ කාලසීමාවක් තුළ දී, මෙම මාධ්‍ය උපමානවලට අනුකූලව කටයුතු කිරීම සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා සමාජ වෙබ් අඩවි පරිපාලකවරුන්ගේ ද කේබල් රූපවාහිනි නාලිකා හිමිකරුවන්ගේද වගකීම වන්නේය.

සියලු‍ උපමානයන් මෙතැනින් කියවන්න >>