Sri Lanka sinking

මැතිවරණයේදී වෙන්න යන දේ

අජිත් පැරකුම් ජයසිංහ

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මා මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ප්‍රචාරණයේ යෙදුණේ නැත. ඇත්තම කියනවා නම් කවුරුවත් මගේ උපකාර ඉල්ලුවේ ද නැත.

Translations by Creative Content Consultants

මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර දෙස මම බැඳීම්වලින් තොරව උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මගේ තක්සේරුව අනුව, දේශපාලනයේදී රාජපක්ෂ ව්‍යාපෘතියත් රටේ සෙසු සියලු බලවේගත් අතර විශාල පරතරයක් තිබේ. මෙම පරතරය වැඩි ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ වටා ඒකරාශි වන බලවේග අතරයි. එහි ඇත්තේ තනිකර ම රජ පවුලක් හා වහලුන් අතර ඇති පරතරය වැනි එකකි. එම පක්ෂය තුළ ගෝඨාභය හා බැසිල් බලවත් වීම යනු ඛෙදවාචකයකින් නිම වීමට ඉඩ ඇති දූෂිත ඒකාධිපතිවාදයක මගසලකුණු විය හැකි ය.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොහොට්ටුව ඉතා පහසුවෙන් බහුතර ආසන ගණනක් දිනාගනු ඇති බව මගේ පුරෝකථනයයි. මේ වන විටත්, ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රියත්වය රැකගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබේ. එහෙත්, සියලු වැරදි කොරෝනා වයිරසය පිට දැමීමටත්, රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය සෙසු රටවලට සාපේක්ෂව පාලනය කරගැනීමට සමත් වීමේ ලකුණු තමන්ට දමාගැනීමටත් ආණ්ඩුව සමත් වී තිබේ.

එහෙත්, ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නම් මැතිවරණයෙන් දිනාගන්නට බැරි ය. ඔවුන්ට තුනෙන් දෙකේ බලය ලබාදීම අතිශය භයානක ය. හේතුව, තුනෙන් දෙකේ බලය ලබාගෙන ඔවුන් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කුමක් ද යන්න පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ පවා ජනතාවට හෙළිදරව් නොකර සිටීමට තරම් ඒකාධිපති ප්‍රවණතාවක ඔවුන් සිටින නිසා ය. ඔවුන් කරන්නට යන දෙය හවුල්කාර පක්ෂ පවා නොදන්නා බව ආණ්ඩුවේ නායකයෝ ම පවසති.

ආණ්ඩුව ජනප්‍රියත්වයෙන් පිරිහී තිබුණත්, විපක්ෂය ඊටත් වඩා අන්ත ලෙස පිරිහී ඇති නිසා මිනිසුන් විපක්ෂය ජයග්‍රහණය කරවන්නට යොමු වන තත්වයක් දැකිය නොහැකි ය.

ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි ජාතික සමගි බලවේගයේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පිරිස සමස්ත මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ම කළේ රනිල් ප්‍රමුඛ එජාපයට බැන වැදීම හා සිරිකොත අල්ලන හැටි ගැන පුරසාරම් දෙඩීමයි. අනාගත නායකත්වයකට සුදුසු බුද්ධිමත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යනු පෙනුණේ සමගි ජන බලවේගයේ චම්පික රණවක ඇතුළු කීපදෙනෙකු පමණි.

එයට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ වඩා වෘත්තිකමය අන්දමින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළේ ය. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයේදී බරපතල පරාජයකට ලක්වන බව පැහැදිලි ය. ඉලක්කම් දෙකක ආසන ගණනක් ලබාගැනීම ඔවුන්ට විශාල අභියෝගයකි.

මෙවර මහ මැතිවරණයේදී ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වෙනුවෙන් ඡන්දය දීම පුරවැසි යුතුකමකි. ශක්තිමත් විපක්ෂයක් සඳහා නම් විශ්වසනීය ම විකල්පය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නැවත පත්කර යැවීම ය.

කුමන පක්ෂයකට ඡන්දය දුන්නත්, පාර්ලිමේන්තුවේ සිටිය යුතු දේශපාලනික හා වෘත්තිකභාවයෙන් යුක්ත පිරිස් තෝරාගෙන ඡන්දය දීම ඔබේ යුතුකමයි. හොරුන්ගෙන් පිරි රටක හොරුන් නැති පාර්ලිමේන්තුවක් බිහි වන්නේ නැත. එහෙත්, පාර්ලිමේන්තුවේ හැකි තරම් දුරට, කුඩා පක්ෂ, සුළුතර ජාතීන්, සුළුතර කුල මෙන් ම කාන්තාවන් ද නියෝජනය විය යුතු ය.

කාන්තාවන්ට ඡන්දය දීමේදී විතරක් ඔවුන්ගේ ගුණාත්මකභාවය සොයන්නට යන එක තේරුමක් නැත. සාපේක්ෂව ඉහළ ගුණාත්මකබවක් ඇති කාන්තා අපේක්ෂිකාවන් ගණනාවක් සෑම පක්ෂයකින් ම ඉදිරිපත් කර තිබේ. කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව අඩු වුණත්, ඔවුන් අතර මතභේදයට තුඩු දෙන චරිත ද අඩු ය. ඔවුන්ට ඡන්දය දෙන්නට ලෝබ නොවිය යුතු ය.

සමාන්තර විශ්වයකදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ද මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දෙනු ඇත. ඔවුන් අතර දේශපාලනයේ සිදුවන්නේ කුමක්දැයි උනන්දුවක් කොළඹ කේන්ද්‍රීය විශ්වයේ නැත්තේ උතුරු නැගෙනහිර තවමත් ලංකාවේ කොටසක් නොවන නිසා ද?

Translations