Mahinda Deshapriya

මහ මැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව පළමු අදියරේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත් බව පෙනේ. එයට ඉවහල් වූ මූලික කාරණා දෙකක් තිබේ.

  1. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කර රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම
  2. වාසනාව (ඇඳිරි නීති පැනවූ වෙලාවේ පොඩි මැණිකේ දුම්රිය ගිය විදිය මතකද? එමගින් කොළඹින් උතුරට වයිරසය ප්‍රචාරය නොවුණේ වාසනාව නිසා ය)

කෙසේ වෙතත්, කොරෝනා වයිරසය තවමත් සමාජයට පැතිර නොමැති බවට හා වයිරසය පැතිරී යන ආකාරය තවමත් හඳුනාගත හැකි තරමට පාලනය කරගෙන සිටින බවට සෞඛ්‍ය බලධාරීන් කරන ප්‍රකාශය පිළිගත හැකි ය.

Translations

ආණ්ඩුව හෙවත් ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීප පිරිස මුලින් සිතා සිටියේ කොවිඩ්-19 තුරන් කර ලෝකයෙන් පළමුවෙනි වී මහ මැතිවරණය පවත්වා හයෙන් පහක ඡන්ද ලබාගෙන දිනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙළවලා ම ගන්නට ය. ඒ මට්ටමට ම සාර්ථක නොවුණත්, ඔවුන් අසාර්ථක බව හෝ එම අරමුණ සාක්ෂාත් කරගන්නට බැරි බව හෝ කියන්නට බැරි ය.

මෙවැනි අභියෝගාත්මක කාලයකදී පවා බලය වෙනුවෙන් තිබෙන කෑදරකම සමග බැඳුණු උන්නතිකාමය රටේ යහපතට යොදවාගන්නට මහජනතාව ලෙස අප උත්සාහ කළ යුතු ය.

නුදුරු අනාගතයේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය පොහොට්ටුවට ලබාගත හැකි ය. විපක්ෂයට ඔවුන් පරාජය කිරීමේ හැකියාවක් නැත. පළමු වටයේදී ඔවුන් කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වූ බවත් ඇත්තකි. ඒ වටය අවසන් වන විට ලංකාව කොවිඩ්-19 සම්බන්ධයෙන් වැඩිවිය පැමිණි සමාජයකි. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ආණ්ඩුවට මෙන් ම මහජනතාවට ද වගකීම් වැඩි වේ.

කොරෝනා වයිරසය පහසුවෙන් සමාජයෙන් තුරන් වන්නේ නැත. අප ඕනෑම කෙනෙකු එයට ගොදුරු වන්නට ඉඩ තිබේ. අප අතරෙන් ඇතැමෙකු මිය යනු ඇත. රෝහල්වලට දරාගත හැකි මට්ටමකින් වයිරසය පැතිරී යාම එතරම් ගැටලුවක් නොවේ. සමාජයක් ලෙස එයට ප්‍රතිශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගාගැනීම හැර වෙනත් විසඳුමක් නැත. මහජන වගකීම වන්නේ රෝගය සමග ඒ අන්දමින් ගනුදෙනු කිරීමයි. කොවිඩ්-19න් ආරක්ෂා වීමට දැනට තිබෙන එකම මාර්ගය වන්නේ සමාජයේ වැඩි පිරිසක් වයිරසයට ගොදුරුව ප්‍රතිශක්තිය ගොඩනගාගැනීමයි.

ඒ අනුව, කොවිඩ්-19 මැද මේ රටේ සියලු අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් යළි ආරම්භ කළ යුතු ය. කොවිඩ්-19 දොරට තට්ටු කරමින් තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවූයේ ය. එම මැතිවරණය පැවැත්විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක ක්‍රියාකාරකම් රජය විසින් ගත යුතුව තිබේ.

මෙවැනි දුෂ්කර සමයක බලය වෙනුවෙන් මෙතරම් කෑදරකමින් ක්‍රියා කරන වියපත් පුද්ගලයන් සිටීම රටේ වාසනාවක් ලෙස සැලකිය යුතු ය. මෙම අභියෝගය හමුවේ ජීවිත අවදානම් නොතකා දේශපාලනය කරන්නට සූදානම් අයට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. බලය ගත්තත්, පාලනය පහසු නැත. කොරෝනා අර්බුදය මැදින් අලුත් මාවත් විවර වුවහොත් ඇතැම්විට ලංකාවේ අනාගතය යහපත් වන්නට ද පුළුවන.

මේ ‍‍වෙලාවේ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ඇත්තටම ඉදිරියට පැමිණිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා පොහොට්ටුවට පක්ෂපාතී පිරිසයි. කිසිවෙකුට මැතිවරණ රාජකාරි කිරීමට බල නොකළ යුතු ය. තමන්ගේ ජීවිත අවදානමට හේතු වන රාජකාරි කිරීමට බලකරන්නට කිසිවෙකුට හැකියාවක් නැත. ඒ නිසා මේ මැතිවරණයට අකැමැති අයට වෛද්‍ය හේතු මත රාජකාරිවලින් ඉවත් වෙන්නට බාධාවක් නොතිබිය යුතු ය. හෙම්බිරිස්සාව, කැස්ස තිබුණත් අයින් වෙන්නට ඉඩ දෙන්නට සිදු වනු ඇත.

මහජනතාව ලෙස අප මෙම යුගයේදී දේශපාලනය ගැන පරීක්ෂාවෙන් සිටිමින් අවම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස රැකගැනීමට කළ හැකි යමක් තිබෙනවා නම් කරනවා හැර ඡන්ද රැස්වීම්වලට යාම, දේශපාලන කලබැගෑනිවලට සම්බන්ධ වීම වැනි ජීවිත අවදානම්වලට හේතු වන ක්‍රියාමාර්ග නොගත යුතු ය. ඒවා කරන අයට විරුද්ධ ද නොවිය යුතු ය. ඔවුන් සමාජයක් ලෙස අපට අත්‍යවශ්‍ය අවදානම ගන්නා අයයි. ඔවුන්ගෙන් හැකි තරම් ඈත් වී සිටිය යුතු ය. ‍එහෙත්, අපගේ ජීවනෝපාය වෙනුවෙන් අප මහන්සි වී වැඩ කළ යුතු ය. රට වෙනුවෙන් අපට කළ හැකි හොඳම දෙය එයයි.