Basil on election day

බැසිල්ට පුළුවන් වෙයිද?

අජිත් පැරකුම් ජයසිංහ

ඇමරිකානු හා ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ නම් රාජපක්ෂ පවුලේ සාමාජිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු අද දින මුදල් අමාත්‍ය ධුරයේ ද වැඩ භාරගත්තේය. මහා භාණ්ඩාගාරයේ සිට ඉතා වැදගත් රාජ්‍ය ආයතන ද ඇතුළුව ආයතන, අරමුදල් ආදිය 51ක් ඔහු යටතට පැවරේ. කෙටියෙන් කියන්නේ නම්, ආර්ථිකය සම්බන්ධ සමස්ත බලතල ඔහුට පවරා තිබේ.

බැසිල් රාජපක්ෂ ඉන්ධන මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙරට ජනතාව වාහනවලට තෙල් නොගසා බලාසිටිති. ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අසාර්ථකත්වයත් සමග ඉච්ඡා භංගත්වයට පත් පොහොට්ටු බලකායට අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බව පෙනේ.

කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂට ඉක්මණින් විසඳුම් ලබාදීමේ විශ්වකර්ම බලයක් නම් නැත. එහෙත්, ඔහුට යමක් කරන්නට බැරිකමක් නම් නැත.

ඇමරිකානුවකු වන බැසිල් රාජපක්ෂ රටේ ප්‍රායෝගිකව දෙවෙනි බලවත්ම තැන පිහිටුවීමට එක්සත් ජනපදය කටයුතු කිරීම චීනයට එල්ල කරන ලද ප්‍රහාරයකි. එය රටේ ජාත්‍යන්තර සම්බන්ධතා තුලනය කිරීමට ඉවහල් වනු ඇත. එහෙත්, ඇමරිකන් ඉත්තෙකු විධායකයේ ඉහළම මට්ටමක සිටීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.

බැසිල් රාජපක්ෂට කරන්නට අමුතු දෙයක් නැත. කළ යුතුව තිබෙන්නේ ඔහුගේ හා රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් පීලි පන්නන ලද ආර්ථිකය යළි සුපුරුදු පීල්ලෙහි තැබීමයි. එනම්, එක්සත් ජාතික පක්ෂ රජය විසින් කරගෙන යන ලද ආර්ථික කළමනාකරණය නැවත ආරම්භ කිරීමයි.

නව ලිබරල් ලෙස හඳුන්වන ආර්ථික ප්‍රතිපත්තිය එජාපයට හා රනිල්ට වඩා හොඳින් කිරීමේ හැකියාව බැසිල්ට තිබේ. ඒ අනුව, ඇමරිකානු MCC ප්‍රදානය ලබාගැනීම සඳහා නැවත උත්සාහයක් දරන්නට ද, ඇමරිකාව-ඉන්දියාව-ජපානය-ඕස්ට්‍රේලියාව යන සිව් පාර්ශ්වීය ආරක්ෂක සංවාදය හෙවත් Quad සන්ධානය සමග සමීපව කටයුතු කරන්නට හැකියාව තිබේ. ඒ අතර චීනය සමග ද සමබරතාව ආරක්ෂා කළ යුතුය. ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ එරටට එරෙහිව කිසිවක් නොකරන බව ඉතා පැහැදිලිය.

මේ මොහොතේ යම් සාමයක් නිර්මාණය කරගැනීම සඳහා බැසිල්ට ක්ෂණිකව කළ හැකි දෙයක් වන්නේ ඊනියා කාබනික පොහොර හරහා පොහොර සහනාධාරය මුළුමනින්ම කප්පාදු කරදමන ගමන් වෙළඳපොළ මිලට පොහොර මිලදී ගන්නට ගොවීන්ට අවස්ථාව ලබාදීමයි. කිලෝ 50 රු. 4000ක් පමණ මිලකට පොහොර මිලදීගෙන ගොවිතැන් කරන විට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෙන්ම ආහාර වෙළඳපොළ ද දැවැන්ත පරිවර්තනයකට ලක්වනු ඇත. ඒ අතර, කාබනික පොහොර ප්‍රෝඩාව ද කරගෙන යා හැකිය. කන්න කීපයක් ඔය ප්‍රෝඩාව කරන විට සෑහෙන පිරිසක් ගොවිතැනෙන් ඉවත් වනු ඇත. ජීවනෝපාය අහිමි වන ගොවීන්ට සල්ලි අච්චු ගසා වන්දි ගෙවිය හැකිය. ආහාර ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය වන නිසා ආහාර ආනයන සීමාකර තබාගත හැකිය.

කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයත් සමග ඉඩම් ප්‍රතිසංස්කරණයක් ද සිදුකළ හැකිය. බලපත්‍ර ගොවීන්ට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමෙන් ඔවුන් තාවකාලිකව සතුටු කළ හැකිය. එසේම, පරිවර්තන කාලය තුළ ඉඩම විකුණා ජීවත් වීමට ඔවුන්ට හැකිය. ඒ අතර දේශීය ව්‍යවසායකයන් ඉහළ මිලක් ගෙවා ඉඩම් අත්පත් කරගන්නට යොමු කළ යුතුය. ඒ ඉඩම් ඉන්පසු බහුජාතික සමාගම්වලට වානිජ කෘෂිකර්මාන්තය සඳහා ලබාදිය හැකිය.

ඒ සමගම ජල කළමනාකරණය ද නවීකරණය කළ යුතුය. ගොවිතැන සඳහා වන ජලය වෙනුවෙන් මුදල් අයකිරීමෙන් මහජන මුදලින් වාරි පහසුකම් නඩත්තු කිරීමේ බරින් ද රජයට නිදහස් විය හැකිය.

මේ අතර, රටේ දැවැන්ත ලාභ ශ්‍රම බලකායක් නිර්මාණය වීම වානිජ කෘෂිකර්මාන්තයට, ශ්‍රම සූක්ෂම කර්මාන්ත සඳහා ආයෝජන කැඳවාගැනීමට, ගැමි ගැහැණුන් මැදපෙරදිගට පටවා සල්ලි හම්බ කරගැනීමට වාසිදායක තත්වයක් නිර්මාණය කරනු ඇත.

මේ සමගම රට දැවැන්ත සාගතයක්, අහේනියක් හරහා ද යන බැවින් යම් යම් සහන ලබාදීමට ආණ්ඩුවට සිදුවනු ඇත. සල්ලි අච්චුගසන්නට පුළුවන් නිසා බය විය යුතු නැත. මේ අතර, අපනයන වර්ධනය කරගැනීම සඳහාත්, ඍජු විදේශ ආයෝජන ඇතුළු ව්‍යවසායකත්වය සංවර්ධනය කරගැනීම සඳහාත් වැඩි බරක් යෙදිය යුතුය.

ඒ වෙනුවෙන් මේ රටේ සෑහෙන පෞද්ගලීකරණයක් කිරීමට සිදුවේ. ඒ සඳහා මහජන සහයෝගය බලමුළුගන්වා ගැනීමට බැසිල්ට හැකි විය යුතුය.

එන්නත්කරණය හරියට කරගත්තොත්, මේ අවුරුද්දේ අවසාන හරියේදී සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කළ හැකිය. දියුණු රටවල් කොවිඩ්-19 වසංගතය පරාජය කිරීමත් සමග තමන් ගබඩා කරගෙන සිටින එන්නත් අප වැනි හිඟන රටවලට ලබාදී කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේද නිර්මාණය වීම වළක්වාගතහොත්, ලබන අවුරුද්ද වන විට සංචාරක කර්මාන්තයේ දැවැන්ත පිබිදීමක් අපේක්ෂා කළ හැකිය.

මහජන විරෝධය මර්දනය කරන්නට යාම එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. ඒවා යම් පාලනයක් තුළ කරගෙන යන්නට ඉඩදිය යුතුය. අපට පෙනෙන ආකාරයට නම්, ජවිපෙ-පෙසප වැනි වාමාංශික බලවේග විකල්ප වැඩපිළිවෙලක් සඳහා බලය ගැනීමේ අවදානමට සූදානම් නැත. ඔවුන් එතැනට තල්ලු වන්නේ මහජන සහයෝගය මත පමණි. මහජන සහයෝගය තවමත් පොහොට්ටුවෙන් මුළුමනින්ම ගිලිහී නැත.

සජිත් ප්‍රේමදාස කළමනාකරණය කරගැනීම මෙහිදී ඉතා වැදගත්ය. ආණ්ඩුව කෙතරම් ජනප්‍රියත්වයෙන් පිරිහුණත් එය ප්‍රශ්නයක් නැත. අවශ්‍ය වන්නේ ආණ්ඩුවට විකල්පයක් වන්නට බැරි තත්වයක විපක්ෂය නඩත්තු කරගැනීමයි. සජිත් ප්‍රේමදාස ඒ සඳහා ප්‍රාමාණිකයෙකි.

බැසිල්ගේ වැඩසටහනට ඇත්තේ එකම අභියෝගයක් පමණි. එනම්, රාජපක්ෂ පවුලේ ආවේණික ගොබ්බකමය. බැසිල්ගේ එය අඩු ඇතැයි සිතමු. එහෙත්, රාජපක්ෂවාදී බලවේගයේ ගොන් ආතල්වලටත් යම් ඉඩක් දෙන්නට සිදුවේ. රටේ වෙන විකල්පයක් නැති නිසා එච්චර අවුලක් නැත.

බැසිල්ට ජනප්‍රිය වන්නට බැරිය. කුණු බැණුම් අහමින්, විහිළුවට ලක්වෙමින්, දුෂ්කර ගමනක් යන්නට සිදුවේ. තව සුමානයක් යනවිට බැසිල්ට බෑ කියා අසන්නට සිදුවේ. ‘ස’ ෆේල් – බැසිල්ට බෑ’ කිව්වාට අවසාන සමත් අසමත්කම් තීරණය කරනවිට, කෝවිඩ්-19 හා එය විසින් ඇතිකරන ලද ආර්ථික අර්බුදය හා ණය අර්බුදය පියමං කරගෙන ආර්ථිකය කඩාවැටෙන්නට නොදී පවත්වාගැනීම යන කාරණය පවා ප්‍රමාණවත්ය.

(ඡායාරූපය: බැසිල් මැතිවරණ දිනයක)

Creative Content Consultants