Pulul Bahujana Vyaparaya

පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නේ කෙසේද?

අජිත් පැරකුම් ජයසිංහ

මේ සටහන ලියන්නෙත් ⁣මේ මාතෘකාවෙන් පැවැත්වුණු සාකච්ඡා සභාවකට සහභාගි වෙන්නට කොළඹ ගිහින් එන ගමන්. ඒ සාකච්ඡාවෙදි මං අදහසක් පළ කළේ නැහැ. ඒකට අවස්ථාවක් ගන්න ටිකක් අමාරු තත්වයක් තිබුණෙ. හැබැයි, කතා කළ අය අතරින් වැඩිදෙනෙකු මේ මාතෘකාව හැර අනෙක් දේ තමයි කතා කළේ. පුළුල් බහුජන ව්‍යාපාරයක් හදන්නට බැරිවෙන්න එක හේතුවක් තමයි අපේ සමාජයේ ඵලදායී මහජන අදහස් විමසීමක් කරන්නට බැරිකම. මාතෘකානුකූල අදහස් පළකිරීම් වෙනුවට තමන් කැමති දේ තමයි බොහෝ කතා සාප්පුවලදි කියවෙන්නෙ. මට නම් ඇත්තෙන්ම මේ අදහස ගැන තියෙන්නෙ ප්‍රශ්න ගොඩක්.

අනෙක් පැත්තෙන් බහුජන ව්‍යාපාර, සිවිල් සමාජය වැනි සංකල්ප ඉතා පුළුල්. ඒවායේ අරමුණුත් අතිශය පුළුල්. ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණයක් සම්බන්ධයෙන් පවා පොදු අවම සම්මුතියක් නිර්මාණය කරගැනීම පහසු නැහැ.

අනෙක, එවැනි ව්‍යාපාර නිර්දේශපාලනික විය යුතු බවට තියෙන අදහසත් ගැටලු සහගතයි. බහුජන ව්‍යාපාර දේශපාලනකයි. දේශපාලනය නොකරනවාය යන්නෙන් අදහස් වන්නේ පක්ෂ දේශපාලනය විය යුතුයි. එහෙත්, පක්ෂ දේශපාලනය විසින් බහුජන ව්‍යාපාර හසුරුවන එක හා තීරණාත්මක අවස්ථාවලදී බහුජන ව්‍යපාර දේශපාලන පක්ෂ හෝ පෙරමුණු සමග ඒකාබද්ධ වීමත් සිදුවෙනවා.

ඊළඟ කාරණය නායකත්වය. බහුජන ව්‍යාපාරවලට පවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්ත ව්ශ්වාසයක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී විදියට නායකත්වයක් පත්කරගන්නට සූදානම්ද? එවැනි ප්‍රජාතන්ත්‍රවාදී තෝරාගැනීමේ වැඩසටහනක් කැඳවන්නට අභියෝගය භාරගන්නට ඉදිරිපත් වන්නේ කවුරුද? මා සිතන පරිදි ලංකාවේ ප්‍රගතිශීලී සිවිල් සමාජයට පවා සංවිධාන අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අත්දැකීම් අවමයි.

පුළුල් බහුජන ව්‍යාපාරයක නායකත්වය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සම්පාදනය කරගන්නට අසමත් වෙන තාක්කල් වෙන්නේ සිවිල් සමාජ නායකයන් බලය අවභාවිතා කිරීමයි. 2015 – 2019 කාලයේදී වුණේ ඒකයි.

2015දී මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයට පුළුල් පිළිගැනීමක් තිබුණා. දැන් ඒ මට්ටමේ නායකත්වයක්වත් නැහැ. එපමණක් නොව, ඉතිහාසය පුරාමත්, විශේෂයෙන් 2015 -19 කාලයේ ක්‍රියා නිසාත් සිවිල් සමාජයෙන් මතුවන නායකයන්ට සිවිල් සමාජය තුළවත් විශ්වාසයක් නැහැ.

මේවා තමයි පුළුල් සිවිල් සමාජයක් නිර්මාණය කිරීමේදී අප මුහුණදෙන ප්‍රධාන අභියෝග.