medical education

දේශපාලකයන්ට හා වෛද්‍යවරුන්ට ඉහළ වැටුපක් නොගෙවන්නේ ඇයි?

රටේ ජනතාවට කොවිඩ්-19 එන්නත ලබාදීමටවත් පසුගිය අයවැයෙන් මුදල් වෙන් නොකළ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එන්නත්කරණය නොමැතිව වැඩිහිටියන් හා විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් ප්‍රමුඛ ජනතාව දිනපතා වැඩි වැඩියෙන් මියයමින් සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා තීරු බදු රහිත සුපිරි වාහන 227ක් ආනයනය කළේ විදේශ විනිමය පිරිමැසීමට වාහනවල සිට කහ දක්වා බොහෝ දේ ආනයනය තහනම් කර තිබියදීය.

මේ අතර, රජයේ සේවයේ බලවත්ම වෘත්තිකයන් පිරිස වන වෛද්‍යවරු සිය බලය පාවිච්චි කර සෙසු සෞඛ්‍ය සේවකයන්ට නොලැබෙන පරිදි රු. 41,220 සිට 78,120 දක්වා වැටුප් වැඩිකිරීමක් වංචනික ලෙස රහසිගත කැබිනට් සංදේශයක් හරහා කරගෙන තිබේ. එසේ කර තිබෙන්නේ ඔවුන්ගේ අතිකාල සීමාව පැය 60කින් වැඩි කිරීමෙනි. අතිකාල කළත්, නොකළත්, මෙම සමස්ත දීමනාවම සියලු වෛද්‍යවරු සම්පූර්ණයෙන්ම ලබාගනිති. දැනට තිබෙන අතිකාල ද එසේය.

මේ අන්දමේ ක්‍රියාවක් නුදුරු අනාගතයේදීම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් ද බලාපොරොත්තු විය යුතුය.

කවුරු කළත් මේ බඩේපාර දෙන්නේ මේ රටේ බදුගෙවන ජනතාවටයි.

දේශපාලකයන්ට ගෙවන වැටුප ඇතැම් දේශපාලකයන්ට සාපේක්ෂව ප්‍රමාණවත් නැති බව අපි පිළිගනිමු. එසේ නම් කළ යුතුව තිබෙන්නේ සාධාරණ වැටුප් ක්‍රමයක් සකස් කරගැනීමයි. ඒ වෙනුවට දැන් කරනුයේ තීරුබදු රහිතව වාහනයක් මිලදීගෙන එය වැඩි මිලට විකුණා රු. මිලියන කීපයක් බදු වංචා කිරීමයි.

දේශපාලකයන්ගේ මෙම වංචාවට අවස්ථාව ලබාගැනීම සඳහා ආණ්ඩු විසින් රජයේ නිලධාරීන් අතිවිශාල සංඛ්‍යාවකට ද අවුරුදු පහෙන් පහ මෙම වංචාව කිරීමට අවස්ථාව ලබාදී තිබේ. එමගින් ඔවුන්ගේ වැටුප් වැඩිකිරීම් ද ඇතැම්විට තුලනය කරගනු ලැබේ.

වෛද්‍යවරුන් යනු ඉතා දුෂ්කර අධ්‍යාපනයක් ලද, ඉතා භාරදූර කාර්යභාරයක් කරන රජයේ නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉහළ වැටුපක් ලබාදිය යුතුය. එහෙත්, ඒ වෙනුවට කරනුයේ ඔවුන්ගෙන් පිරිසකට රෝහලට නොපැමිණ පවා සිටිමින් වරප්‍රසාද රැසක් භුක්ති විඳින්නට අවස්ථාව ලබාදෙමින් පෞද්ගලික සේවාවන්ට ද අවස්ථාව ලබාදීමයි.

වෛද්‍යවරුන්ට ඉහළ වැටුපක් ලබා නොදී ඔවුන් අතිකාල වංචා කරන්නට පෙළඹවීම ඔවුන්ට වෘත්තීය වශයෙන් කරනු ලබන නිගාවකි. සෞඛ්‍ය සේවයේ වෙනත් වෘත්තිකයන්ට මෙවැනි අවස්ථා නැත. උදාහරණයක් ලෙස ගිලන් රථ රියදුරන් කොතරම් වැඩ කළත් ඔවුනට අතිකාල ගෙවනු ලබන්නේ යම් සීමාවක් දක්වා පමණි. ඉතිරි කාලය වැටුප් රහිතව වැඩකිරීමට ඔවුන්ට සිදුවේ.

ලංකාවේ රජයේ සේවක වෘත්තීය සමිතිවල ප්‍රධාන වචනය වන්නේ වැටුප් විෂමතාය. වැටුප් විෂමතා යනු කුමක්ද? මේ විෂමතාව හැමවිටම සලකුණු කරන්නේ වෙනත් සේවාවකට සාපේ්ක්ෂවය.

අද සෞඛ්‍ය සේවකයන් අතරින් පිරිසක් වර්ජනයකය. වෛද්‍යවරුන්ට වංචනික අන්දමින් කරන ලද වැටුප් වැඩි කිරීමෙන් තමන්ට විෂමතාවක් නිර්මාණය වී තිබෙන බව එහි ප්‍රධාන තර්කයයි. මේ අන්දමේ වැඩිවීමක් හෙද නිලධාරින්ට දුන්නොත්, කණිෂ්ට කාර්ය මණ්ඩලවලට ඇතිවන්නේ ද විෂමතාවකි. එය එතැනින් නොනවතී. පොලිසියට, ග්‍රාමසේවකලාට පමණක් නොව සංවර්ධන නිලධාරීන්ට පවා විෂමතා නැනේ.

රාජ්‍ය සේවක වැටුප් විෂමතා නැතිකිරීමට කළ යුත්තේ සියලු රාජ්‍ය සේවක නියෝජිතයන් එක් තැනකට එක්රැස් කර පහසුකම් සපයා නිශ්චිත කාලසීමාවක් තුළ කාටත් පිළිගත හැකි වැටුප් ව්‍යූහයක් සකස්කර දෙන ලෙස නියම කළ හැකිය.

කෙසේ වෙතත්, රාජ්‍ය වැටුප් සම්බන්ධ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් විය යුතුය. සේවා අවශ්‍යතාව අනුව වැටුප් නිර්ණය වන, සේවාවන් අතර සමාන්තරභාවය අහෝසි කරන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

Creative Content Consultants