red roses

දැන් අවශ්‍ය විප්ලවයක්ද? වෙන විසඳුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ

කෑල්ලෙන් කෑල්ල ගියත්, ලංකාවට දැන් ඉතින් විප්ලවයක් නොමැතිව පහසුවෙන් ගොඩයන්නට බැරිය. ඒ විප්ලවය සමාජවාදී විප්ලවයක් නොවේ. රජයේ හිමිකරුවන් වී මහජනතාව සූරාකන දේශපාලක හා රාජ්‍ය නිලධාරි මධ්‍යම පන්තියත්, ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරික ප්‍රජාවත් බලයෙන් පහකර වැඩකරන ජනතාව හා ව්‍යවසායකයන් අතට රාජ්‍ය බලය ලබාගන්නා මහජන විප්ලවයකි. එය කරන්නේ කෙසේදැයි මෙය ලියන මම නොදනිමි. එහෙත්, පුරවැසියන්ට එසේ කිරීමට හැකි විය යුතු යයි මම සිතමි. ඒ වෙනුවෙන් පුරවැසියන් ගන්නා ඕනෑම සාමූහික ක්‍රියාමාර්ගයක් සමග මම එක සිතින් එක්වෙමි.

මෙය මධ්‍යම පන්තිය මත පදනම් වන කිසිදු බලවේගයකට කළ හැකි දෙයක් නොවේ. එයට මූලික හේතුව වැඩකරන ජනතාව හා ව්‍යවසායකයන් සම්බන්ධයෙන් මෙම බලවේගවලට දියුණු දැක්මක් නැතිකමයි.

විප්ලවීය ආණ්ඩුව විසින් වසර දෙකක කාලයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා, විප්ලවීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර, රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා හදිසි නීති සංශෝධන යෝජනා කිරීම සඳහා සමාජභාවී, වාර්ගික ආදී සියලු අනන්‍යතා සහිත ප්‍රජාවන්ගේ නියෝජනය සහිත පුළුල් විප්ලවීය මණ්ඩලයක් පත්කර ගතයුතුය. සියලු සන්නද්ධ හමුදා විප්ලවීය රාජ්‍ය නායකත්වය යටතේ සාමසාධක හමුදාවක් ලෙස ප්‍රතිසංවිධානය කළ යුතුය. ආර්ථිකය නගාසිටුවීම වැනි හදිසි වගකීම් සඳහා හමුදාව සම්බන්ධ කරගත යුතුය.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව හදිසි විප්ලවීය මහමැතිවරණයක් පවත්වා දෙවසරක කාලයකට පුළුල්, තාවකාලික, විප්ලවීය පාර්ලිමේන්තුවක් පත්කරගත යුතුය. එහි මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් ⁣දෙවසරක කාලයක් සේවය කළ යුතුය. අසාර්ථක මන්ත්‍රීවරුන් ආපසු කැඳවා අලුත් නියෝජිතයන් පත්කිරීමේ කඩිනම් ක්‍රමවේදයක් සම්පාදනය කළ යුතුය.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම හා ගොඩනැගීම හඳහා දෙස්, විදෙස් මහජන ආධාර සඳහා විවෘත ඉල්ලීමක් සිදුකළ යුතුය. එවැනි ආධාර උපකාර ගිනුම්ගත වන හා මහජන සහභාගීත්වයෙන් මැනැවින් කළමනාකරණය වන ක්‍රමවේදයක් සම්පාදනය කළ යුතුය.

බලයෙන් පහකරන ලද රාජ්‍ය පාලකයන් දෙවසරක කාලයකට අනිවාර්ය නිවාඩු යැවීමක් සිදුකළ යුතුය. දේශපාලනයෙන් ඉවත්වීමේ කොන්දේසිය මත රාජ්‍ය පාලනය සම්බන්ධ වැරදි සඳහා පොදු සමාවක් ඔවුන්ට ප්‍රදානය කළ යුතුය. එයට එකඟ නොවන පිරිස් පුනරුත්ථාපනය කළ යුතුය. දූෂණ සම්බන්ධ විමර්ශන සාමාන්‍ය පරිදි සිදුකළ යුතුය.

දෙවසරකට පසු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ මැතිවරණ පවත්වා විප්ලවය ඉදිරියට ගෙනයා හැකි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට අවසථාව ලබාදිය යුතුය.

නැවත දීර්ඝ කළහැකි පස් අවුරුදු කාලයක් සඳහා සියලු අතීත දේශීය හා විදේශීය රාජ්‍ය ණය හා පොළී ආපසු ගෙවීම ඒකපාර්ශ්විකව අත්හිටුවිය යුතුය. එම ණය ඉල්ලා සිටින පාර්ශ්වවලට අවශ්‍යම නම්, එම ණය ලබාගත් හිටපු පාලක හා නිලධාරි පිරිස පවරාදිය හැකිය. උන් මේ ණය ලබාගත් ආකාරය කිසිදු ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන නිසා, මහජනතාව කෙසේ වෙතත්, විප්ලවීය ආණ්ඩුව එයට වගකිවයුතු නැත. කෙසේ වෙතත්, ලාංකීය රාජ්‍යය ලෙස ණය ආපසු ගෙවීමේ වගකීම පැහැර නොහරින බව ප්‍රකාශ කරමින්, දූෂිතයන් විසින් විනාශ කරන ලද ආර්ථිකය යථා තත්වයට පත්කරගන්නා තෙක් කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන්දියාව, චීනය, යුරෝපා සංගමය හා එක්සත් ජනපදය වැනි පාර්ශ්වවල උපදෙස් හා සහයෝගය ඉල්ලාසිටිය යුතුය.

එසේම, පසුගිය කාලයේ රට උගස් කර කොමිස් ගත්, මහජන මුදල් වංචා කළ හිටපු ජනාධිපතිලාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දක්වා ද, අමාත්‍යාංශ ලේකම්ලාගේ සිට ග්‍රාමසේවකලා දක්වා ද, ගජමිතුරු ව්‍යාපාරිකයන් ද ඇතුළු සියලු දෙනාගේ වංචනික ලෙස උපයන ලදැයි සැලකෙන දේපල නිසි විමර්ශනයක් සිදුකරන තෙක් තාවකාලිකව වහාම රජයට පවරාගත යුතුය. ඒවා බිඳනොවැටෙන සේ පාලනය කිරීම සඳහා විප්ලවීය රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ මණ්ඩලයක් පත්කළ යුතුය. කල්තබා ඉදිරිපත් වී සියලු සත්‍යය හෙළිදරව් කර දේපල රජයට පවරාදෙන්නට සූදානම් අයට පොදු සමාවක් ලබාදිය යුතුය. නැතිනම් විප්ලවීය විමර්ශනයක් සිදුකළ යුතුය. විමර්ශනයෙන් පසු විප්ලවීය නීති යටතේ නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.

ලංකාවේ විප්ලවීය ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධතා ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සෑම දෙයක්ම කළ යුතුය. ගැටුම් අවම කරගැනීම සඳහා විදේශ රටවලට හා සමාගම්වලට විකුණා තිබෙන දේපළ යළි පවරාගැනීමක් කිසිසේත්ම සිදුනොකරන බවට පූර්ණ සහතිකයක් ලබාදිය යුතුය. කලාපීය බල තුලනය තුළ විශේෂයෙන් ඉන්දියාව සමග සබඳතා අවංක ලෙස ශක්තිමත් කරගත යුතුය.

ශ්‍රීලන්කන් සුදු අලියා වහා සාධාරණ මුදලකට ඈවර කළ යුතුය. තෙල් සංස්ථාවේ ව්‍යාපාරික අංශය වෙන්කර සමාගමක් පිහිටුවිය යුතුය. ඉන්ධන ආනයනය සඳහා එම සමාගමට හා තවත් සමාගම් කීපයකට අවසර ලබාදිය යුතුය. ලංකා විදුලිබල මණ්ඩලයේ හා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඵලදායීතාව ඉහළ යන පරිදි එම ආයතන වහා ප්‍රතිව්‍යූහගත කළ යුතුය.

රාජ්‍ය සේවකයන්ගේ වගවීම, කාර්යක්ෂමතාව හා රාජ්‍ය සේවයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර සම්පාදනය කළ යුතුය. වසර දෙකක කාලයක් සඳහා රාජ්‍ය සේවයේ සියලු අලුත් පත්කිරීම්, උසස්වීම්, වැටුප් වැඩි කිරීම් හා වර්ජන අයිතිය අත්හිටුවිය යුතුය. සියලු රාජ්‍ය සේවකයන්ගේ අනියම් නිවාඩු 50%කින් අඩු කළ යුතුය. වෛද්‍ය නිවාඩු සඳහා රජයේ රෝහලක වෛද්‍ය නිර්දේශයක් අනිවාර්ය කළ යුතුය. තීරුබදු රහිත වාහන බලපත්‍ර වැනි දූෂිත වරප්‍රසාද සියල්ල වහා අහෝසි කළ යුතුය.

රාජ්‍ය සේවා වැටුප් පූර්ණ සංශෝධනයකට ලක්කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජනය සහිත විප්ලවීය මණ්ඩලයක් පිහිටුවිය යුතුය.

රාජ්‍ය ආයතන හැකි තරම් දුරට රජයට හිමි ස්වාධීන ආයතන බවට පත්කළ යුතුය. සපයන සේවාව වෙනුවෙන් සාධාරණ ගාස්තු අයකිරීමට අවසර ලබාදිය යුතුය. රජය නියාමනයට යොමුකළ යුතුය. සමාජයේ දිළිඳු හා උපකාර අවශ්‍ය සමාජ කොටස් නගාසිටුවීම හා සහනාධාර සම්පාදනය වෙනුවෙන් විධිමත් රාජ්‍ය ආයතන පද්ධතියක් නිර්මාණය කළ යුතුය. සහනාධාරලාභී වැඩකළහැකි පිරිස් රට පිරිසිදු කිරීමේ හා අලංකරණ කටයුතුවල අනිවාර්යයෙන් යෙදිය යුතුය.

ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම හැකිතරම් දුරට නියාමනයට සීමා කළ යුතුය. ව්‍යවසායකත්වය හා නිදහස් වෙළඳපොළ දිරිගැන්විය යුතුය.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුය. ලංගම ද ඇතුළත් කර බස් සමාගම් පිහිටුවා බස් ධාවනය විධිමත් කළ යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ දුම්රිය වෙනුවෙන් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ආරම්භ කළ යුතුය.

අධිවේගී මාර්ග වැනි මෙගා සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව අත්හිටවිය යුතුය. මහනුවර අධිවේගී මාර්ගය සම්පූර්ණ කළ යුතුය. රුවන්පුර අධිවේගී මාර්ගය නවත්වා කැලනිවැලි දුම්රිය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට එම අරමුදල් යෙදවිය යුතුය.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයන් හා ඍජු විදේශ ආයෝජන වෙනුවෙන් උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කළ යුතුය.

ලංකාව සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසරය පිරිසිදු කිරීමේ, සුන්දර කිරීමේ හා සංරක්ෂණය කිරීමේ මහජන ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් සංවිධානය කළ යුතුය.

පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුය. රාජ්‍ය ආධාරවලින් තොරව පැවතිය හැකි පාසල් සාධාරණ ගාස්තු මත අධ්‍යාපනය ලබාදෙන ස්වාධීන ආයතන බවට පත්කළ යුතුය. එම පාසල් විසින් බඳවාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අනුපාතිකයක් දක්ෂ ශිෂ්‍යත්ව ලබාදීම අනිවාර්ය කළ යුතුය. සෑම සිසුවකුටම රජය විසින් නිවස ආසන්නයේ පාසල් ලබාදිය යුතු අතර, රාජ්‍ය අධ්‍යාපනික වියදම් එම පාසල් සංවර්ධනය කිරීම සඳහා යෙදිය යුතුය. ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදුකළ යුතුය. ඒ සඳහා මෙතෙක් සිදුකර තිබෙන ප්‍රතිපත්ති නිර්දේශ යළි සමාලෝචනය කළ යුතුය. රාජ්‍ය පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතුය. සියලු පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් රාජ්‍ය නියාමනයට ලක්කළ යුතුය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් සාධාරණ ගාස්තු අයකරන පදනමක් සකස් කර විශ්වවිද්‍යාල සංඛ්‍යාව හා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව පුළුල් කළ යුතුය. අවශ්‍ය සියලු සිසුන්ට උසස් අධ්‍යාපනික ණය පහසුකම් ලබාදිය යුතුය. දක්ෂම සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව ලබාදිය යුතුය.

පෞද්ගලික වෛද්‍ය සේවා හා ගාස්තු නියාමනය කළ යුතුය. සෞඛ්‍ය රක්ෂණ ක්‍රම දිරිමත් කළ යුතුය. සියලු රජයේ රෝහල්වල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය. ඒ සඳහා රාජ්‍ය ආයෝජන වැඩිකළ යුතුය.

වෛද්‍යවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික සේවාවන් තහනම් කළ යුතුය. පෞද්ගලික සේවාවන්ට යොමුවීමට කැමති රාජ්‍ය සේවකයන්ට මෙතෙක් සේවාව අනුව සාධාරණ ප්‍රතිලාභ සහිතව ස්වේච්ඡාවෙන් රාජ්‍ය සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදිය යුතුය.

ගොවීන්, ධීවරයන්, ස්වයං රැකියාකරුවන් වැනි අය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් රක්ෂණ ක්‍රම ශක්තිමත් කළ යුතුය. වෙළඳපොළ පාදක කෘෂිකර්මාන්තයක් දිරිගැන්විය යුතුය. රාජ්‍ය මැදිහත්වීම් කෘෂිකර්මාන්තයේ ගුණාත්මක වර්ධනය සඳහා යොමුකළ යුතුය.

රාජ්‍ය බදු අයකිරීම විධිමත් කළ යුතුය. වක්‍ර බදු අවම කළ යුතුය. ඉහළ ආදායම් ලබන සියලුදෙනා ආදායම් බදු ගෙවිය යුතුය.

ආනයන සීමා ඉවත් කළ යුතුය. එහෙත්, අනවශ්‍ය භාණ්ඩ හා අසාධාරණ අන්දමින් අඩුවෙන් මිල ලකුණු කරන ලද භාණ්ඩ රටට ගලාඒම නතර කිරීම සඳහා ඩම්පිං විරෝධී නීති හා භාවිතාවන් ශක්තිමත් කළ යුතුය. දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සමග තරග කළ හැකි භාණ්ඩ හා සේවා තෝරාගැනීමට, තාක්ෂණය ලබාගැනීමට, ප්‍රාග්ධන සම්පාදනයට, නිෂ්පාදනයට හා අලෙවියට රජය උපකාර කළ යුතුය.

ව්‍යවසායන් සම්බන්ධයෙන් ප්‍රාග්ධනය, ඉඩම්, බලශක්ති, ජලය, අවසරයන් හා වෙනත් සේවාවන් සම්පාදනය සම්බන්ධීකරණය කිරීම සඳහා මධ්‍යගත රාජ්‍ය සේවා අංශයක් ආරම්භ කළ යුතු අතර ප්‍රමාණවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් එය වෙත යොමුකළ යුතුය.

විප්ලවීය සන්නිවේදන හා අධ්‍යාපනික බලකායක් පිිහිටුවීම රජයේ ප්‍රධාන කාර්යයකි. මාධ්‍ය නිදහසට ඉඩදිය යුතු අතර සම අවස්ථා ලබාගනිමින් මතවාද, ප්‍රොපගැන්ඩා, දුස්තොරතුරු, වැරදි තොරතුරු හා ද්වේෂ සහගත තොරතුරුවලට එරෙහිව විධිමත් අන්දමින් මාධ්‍ය හා වෙනත් මහජන අධ්‍යාපන පද්ධති භාවිතා කළ යුතුය.

ඉහත සටහන් කරන ලද්දේ නිකම් සිතුවිලි ටිකක් පමණි. එය අලුතින් සිතන්නට කවුළුවක් ලෙස සලකන්න. විප්ලවීය ආණ්ඩුවක් විසින් කළ යුතුව තිබෙන වැදගත්ම දෙය නම්, අදහස්වලට සවන්දීම හා ඒවා දෘෂ්ටිවාදී නොවන පදනමින් විශ්ලේෂණය කර සමාලෝචනය කර ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමයි.