Anura Kumara Dissanayake

ජවිපෙටත් දීල බලමුද?

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළ දිනට පසුදින කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව කොළඹදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයෙන් දැඩි සටන්කාමී උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

එයට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලයේ ජවිපෙ වෘත්තීය සමිතිය ඇතුළු පිරිස් පෞද්ගලීකරණයට එරෙහිව වර්ජන තර්ජනයක් නිකුත් කළේය. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රැකියා ඉල්ලා උද්ඝෝෂණයක් ද කළේය.

මෙම උද්ඝෝෂණවලදී දැඩි සටන්කාමීත්වයක් පෙන්වන බලවේගයක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ජවිපෙට රාජ්‍ය බලය සම්බන්ධයෙන් පළමුව සන්ධානගත විය හැකි සමීපතම බලවේගය පෙසපයි.

මේ මොහොතේ ලංකාව පවතින්නේ දේශපාලන හා ආර්ථික අර්බුදයක් තුළයි. පවත්නා ක්‍රමය වෙනස් නොකර මෙම අර්බුදය පියමං කළ නොහැකිය. වත්මන් රජය ද එම ක්‍රමය වෙනස් කිරීමක් ලෙස සැලකිය හැකි යම් පියවර ගෙන තිබේ. එහෙත්, ඒවා ස්ථාවර ප්‍රතිපත්ති නොව, විදේශ විනිමය නැතිකමට කරනු ලබන ආනයන සම්බාධක පමණි. ජවිපෙ රාජ්‍ය බලය ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළ දිනයට පසු දිනයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කතාකරමින් රජය මුහුණ දෙන රාජ්‍ය මූල්‍ය අර්බුදය විස්තර කළේය. රාජ්‍ය ණයවලින් 47%ක් විදේශ ණය බව ඔහු පැවසීය. ජවිපෙ රජයකට පවා මුහුණදෙන්නට සිදුවන ප්‍රධානම ප්‍රශ්නය එයයි. මේ ණය කන්ද ආපසු ගෙවා දමන්නේ කෙසේද?

ආර්ථික අර්බුදය නිර්මාණය වන්නේ අධික ණය බර, ණය ලබාගෙන කරන ලද ඊනියා සංවර්ධනයන්ගෙන් ආදායම් උත්පාදනය නොවීම, බදු ආදායම් පහත වැටීම, දේශීය නිෂ්පාදන අඩුකම, අපනයන ඉල්ලුම අඩුවීම, සංචාරක කර්මාන්තයේ කඩාවැටීම, විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන විදේශ විනිමය අඩුවීම, සහනාධාර, දැරිය නොහැකි සුබසාධන පිරිවැය, අධික ලෙස අකාර්යක්ෂම රාජ්‍ය අංශය නඩත්තු කිරීම සඳහා යන අධි වියදම ආදී හේතු මතය.

රටේ දේශපාලන අර්බුදයට හේතු වන්නේ, ව්‍යවසායකයන් මෙන්ම, වැඩකරන ජනතාවට ද අධික ලෙස සූරාකෑමට ලක්වීම හා ඔවුන් පාලනයෙන් පිටමං කිරීම, රජයේ හිමිකරුවන් වන දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් හා රජයේ නිලධාරීන් වැනි අතරමැදි පංතිකයන් දේශපාලන නායකත්වයට සහාය නොදීම, නායකත්වයට දැක්මක් හෝ මූලෝපායක් නැතිකම, විධායක ජනාධිපති ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ වැනි බුද්ධිමතුන් ලෙස නොසැලකිය හැකි හීනමාන පෞරුෂයන්ට අසීමිත බලයක් හිමිවීම, රජය ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබාගැනීමට අසමත් වීම හා මහජනතාව ද දූෂිත, වංක හා කඩාකප්පල්කාරී අන්දමින් හැසිරීම යනාදී හේතු මතය.

ජනතා විමුක්ති පෙරමුණ ඉහත දක්වන ලද මූලික ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුය. ඒ පිළිතුරු ඔවුන් මෙතෙක් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබේ යයි මා නම් විශ්වාස කරන්නේ නැත. එම ප්‍රතිපත්ති ප්‍රකාශනවල මූලික හරය නම්, දැනට පවත්නා ක්‍රමයම දූෂණයෙන් තොර, අවංක නායකත්වයක් යටතේ කාර්යක්ෂම කිරීමයි. එනම්, මෙම දැවැන්ත රජය මේ අන්දමින්ම පවත්වාගෙන යමින් එහි කාර්යක්ෂමතාව වැඩිකරනු ඇත. ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන් ඇතුළු සැමට ඔවුන් ඉල්ලා සිටින වැඩි වැටුප් ලබාදෙනු ඇත. ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි අධික පාඩු ලබන රාජ්‍ය සමාගම් පවා විකිණීම ජවිපෙ ප්‍රතිපත්තිය නොවේ (මෙය විකිණුවත්, ගන්නට කෙනෙකු නැත.) වරාය වැනි ආයතනවල මේ අන්දමින්ම සේවකයන් පුරවාගෙන එහි කාර්යක්ෂමතාව වැඩිකරනු ඇත. විශ්වවිද්‍යාලවලින් පිටවී රැකියා නොමැතිව බලා සිටින සෙසු උපාධිධාරීන්ට ද රජයේ රැකියා ලබාදෙනු ඇත. මේ මොහොතේ රටට අවශ්‍ය කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකට ජවිපෙ කැමැත්තක් දක්වන්නේ නැත. ඔවුන් විසින් කුමන අන්දමේ ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇද්ද?

උදාහරණයක් ලෙස, ජවිපෙට අල්පේච්ඡ දේශපාලන නායකත්වයක් හා සකසුරුවම් පාලනයක් හඳුන්වාදීමේ හැකියාව තිබේ. ඉහළ වැටුප්, වරප්‍රසාද නොගන්නා, සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරෙන දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජවිපෙ පාලනයකදී දැකිය හැකි වනු ඇත. එවැනි නායකත්වයක් සමග එක්ව ශ්‍රමදාන ආදිය කරන්නට ජනතාව පොළඹවාගන්නට හැකිවනු ඇත. රජයේ සේවකයන් වැඩකරන්නට පොළඹවාගන්නට පවා ඇතැම් විට හැකි වනු ඇත.

රජයේ සේවකයන් වැඩ කරන්නට පටන් ගත්තද මේ රටෙහි සැලකියයුතු වෙනසක් සිදුවන්නේ නැත. එයට හේතුව රටේ ආර්ථිකයේ බර උසුලා සිටින ව්‍යවසායකයන් හා කම්කරුවන් සම්බන්ධයෙන් ජවිපෙට දැක්මක් හෝ ඔවුන් අතර පදනමක් හෝ නැතිකමයි. දේශපාලනයෙන් පිටමං කර සිටින පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් ජවිපෙට සාධනීය දැක්මක් නැත. ජවිපෙ සිතන්නේ ඔවුන්ගෙන් අධික ලෙස බදු අයකර රාජ්‍ය සේවා පවත්වාගත යුතුය කියාය. රාජ්‍ය සේවා කියන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමයි. පෞද්ගලික අංශයේ කම්කරුවන්ට වැටුප් වැඩිකරන්නට බලකිරීමෙන් රජයකට කළ හැකි එකම දෙය වන්නේ කර්මාන්ත කඩාවැටෙන්නට හා සමාගම් වැසී රැකියා අහිමිවන්නට සැලැස්වීමයි.

කෙසේ වෙතත්, පසුගිය පාලනයන් සමග එක්ව අසාධාරණ ලාභ ලැබූ ඇතැම් ධනපතීන්ගේ දේපල රජයට පවරාගැනීමේ හැකියාවක් නම් ජවිපෙට තිබේ. උදාහරණයක් ලෙස, මේ වෙනකොට ආනයන නවත්වා ටයිල් හා නානකාමර කට්ටල වෙළඳපොළ සම්පූර්ණයෙන්ම ධම්මික පෙරේරාට පවරා තිබේ. ඔහුගේ සමාගම් විසින් පසුගිය වසරක පමණ කාලය තුළ මෙම ද්‍රව්‍ය 100%කට වැඩි ප්‍රමාණයකින් මිල ඉහළ නංවන ලදී. ජවිපෙ වැනි පක්ෂයක් බලයට පැමිණියහොත්, ධම්මික පෙරේරා වැනි අයථා ලාභ ලැබූවන්ගේ දේපල පොදු දේපල බවට පත්කළ හැකිය. එහෙත්, ඒවා පවත්වාගෙන යන්නට රජයට හැකි වේද?

මහජන දේපල මංකොල්ලකෑ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජවිපෙට හැකිය. එහි සීමාවක් සොයාගැනීම නම් ලෙහෙසි නොවනු ඇත. ඔවුන් කොල්ලකෑ ධනය ආපසු රජයට පවරාගැනීමට පුළුවන. එහෙත්, රජයට එම දේපල පාලනය කිරීමේ හැකියාව තිබේද? අතීත වැරදිකරුවන් වෙනුවෙන් කෙතරම් සිරගෙවල් නඩත්තු කරන්නට හැකි වනු ඇද්ද?

ජවිපෙ අතගසන්නට යන්නේ එසේ මෙසේ වගකීමකට නොවේ. මෙය වෝල්ට් තිස්තුන්දාහේ අධිබල විදුලි රැහැනක පැටලී තිබෙන සරුංගලයක් බේරාගැනීම හා සමාන ක්‍රියාවකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි කීමම අගය කළ යුතු දෙයකි. දැනට හාවුන් සමග පණ බේරාගන්නට දුවමින් සිටින ජවිපෙ බල්ලන් සමග දඩයම් කරන්නේ කෙසේද යන්න බලන්නට වටී.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේ මූලික ගැටලුව පුරවැසිභාවය හඳුනාගත් ජනතාවක් නොමැති වීම ලෙස අප විසින් හඳුනාගෙන තිබේ. පුරවැසියා ගොඩනැගීම වෙනුවෙන් අපි අලුත් කතාබහක් ආරම්භ කර තිබේ. පුරවැසියා ගොඩනගන්නේ නැතුව දේශපාලන බලයෙන් මේ රට හදන්නට බැරිය. කෙසේ වෙතත්, ජවිපෙට අවශ්‍ය නම්, පුරවැසියා හදන්නට දේශපාලන බලය පාවිච්චි කළ හැකිය. එහිදී නම් අපට ද ජවිපෙට සහාය විය හැකිය.

Creative Content Consultants