chamuditha Samarawickrama

චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම

අජිත් පැරකුම් ජයසිංහ

චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන සජීවීව අදහසක් දක්වන්නට ඊයේ රේඩියෝ චැනල් එකකින් ආරාධනාවක් ලැබුණා. මං ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඒ ගැන උනන්දුවක් නැතිකම හා ඒ වෙලාවේ වෙන වැඩකුත් තිබුණු නිසායි. සාමාන්‍යයෙන් වෙන්නෙ අපි පැනලා දෙන එකනෙ. මාධ්‍යවලින් අපේ අදහස් විමසීමක් වෙන්නෙ කලාතුරකින්. මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කරන්න, අදහස් තියෙන කට්ටිය රටේ ඉන්නවානෙ. මං හිතන්නෙ චමුදිත වෙනුවෙන් කතාකරන්න ගොඩක් කට්ටිය ඕනැ වෙලා ඇති. නැතිනම් කට්ටිය මදි ඇති. ඒ නිසා වෙන්න ඇති මටත් කතා කළේ. කෙසේ වෙතත්, චමුදිතට අසූචි ප්‍රහාරයක් එල්ලකිරීම ගැන මට කියන්න තියෙන්නෙ මේ අදහස:

මාධ්‍යකරණය කියලා පාරිශුද්ධ වැඩක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. කිසිම මාධ්‍යවේදියෙකු අපක්ෂපාතීයි කියලා මං හිතන්නෙ නැහැ. මාධ්‍යවේදියෙකු නොවුණට, මාධ්‍යකරුවකු වන මං නම් කොහොමවත් අපක්ෂපාතී නැහැ. මං පක්ෂපාතී මොකකටද කියන එකයි මෙතනදී වැදගත්. මං පක්ෂපාතී වෙන්නෙ දේශපාලනික අරමුණකට. මං ලියන්නෙ, පෙනීසිටින්නෙ ඒ අරමුණ වෙනුවෙනුයි.

මාධ්‍යකරණය නමින් මං නොකරන දේවල් ටිකක් තියෙනවා. මං ජනප්‍රියවාදය පස්සෙ යන්නෙ නැහැ. ලක්ෂ ගණන් මගේ පස්සෙන් එන්න මට ඕනැ නැහැ. කොටින්ම විශාල බලපෑම්කරුවකු නොවුණට මට කමක් නැහැ. ඒ වගේ මාධ්‍ය බලපෑමක් නඩත්තු කරන්න සල්ලි හොයන්නත් ඕනැ. ඒ වෙනුවෙන් ආධාරකරුවන්ගෙන් අරමුදල් ලබාගන්න, දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් පසුපස ගාටලා දැන්වීම් ලබාගන්න, එක එකාගෙ ප්‍රතිරූප ගොඩනගන හා එක එකාගෙ උවමනා වෙනුවෙන් තව අයගෙ ප්‍රතිරූප විනාශ කරන වැඩසටහන් කරන්න, අපට මෙහෙම කරන්න පුළුවන් ඒ නිසා සලකන්න කියලා බ්ලැක්මේල් කරන්න වගේ දේවලට මම නම් උනන්දුවක් නැහැ.

හැබැයි, අද අපි මාධ්‍යකරණය හා මාධ්‍යවේදීන් කියලා දකින්නෙ මේ දේවල් කරන අය වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ, චමුදිත සමරවික්‍රම එහෙම කෙනෙකුය කියලා. කොටින්ම මං චමුදිත ගැන මොකුත් දන්නෙ නැහැ. මං එයාගෙ වැඩසටහන් විශේෂ උනන්දුවකින් බලන්නෙත් නැහැ. බලන්නෙ නැහැ. පේනවා. කොටින්ම චමුදිත වැඩකරන්නෙ හිරු ටීවී එකේය කියන එක පවා මට නිච්චියක් තිබුණෙ නැහැ. මං ඒ චැනල් එක බලන්නෙම නැති නිසා වෙන්න ඇති.

චමුදිතට වැගන් ආර් එකකින් ඇවිත් අසූචිවලින් පහරදීම ආණ්ඩුවෙ වැඩක්ය කියලා මං හිතන්නෙ නැහැ. සමහරු වැගන් ආර් එකටත් සුදු වෑන් එකක්ය කියන්න කලබල වුණා. හැබැයි, මේක ලේසියෙන් අල්ලගන්න පුළුවන් වැඩක් නිසා අල්ලගත්තෙ නැතිනම් ඒක ආණ්ඩුවේ වැඩක්ය කියලා සැකයක් ඇතිවෙන එක වළක්වන්නත් බැහැ. කොහොම වුණත්, කවුරු වුණත්, චමුදිතට එල්ල කරපු මේ ප්‍රහාරය බොළඳ වැඩක්. ඒකට හේතුව මේකයි:

මාධ්‍යවේදීන් කියලා එක එක විදියෙ ස්මෝල්ටයිමර් හෙවත් අසාර්ථක, නොවැදගත් චරිත මතුවන එක වළක්වන්නට බැහැ. ඒගොල්ලන්ට යම් යම් කාලවලදී ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නටත් පුළුවන්. ඒ අය පුද්ගලයන්ට හා සමාජයට හානි සිදුකරන එකත් වළක්වන්නට බැහැ. එතනදී වැදගත් වෙන්නෙ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවයි. හැබැයි, සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව ගොඩනගන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද, මාධ්‍යවේදීන් කියලා මතුවන මේ ස්මෝල්ටයිමර්ලා කරන වැඩවලින් සිදුවන්නෙ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව විනාශ වෙන එක.

මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍යද, ඒ නියාමනය කරන්නේ කොහොමද කියලා සාකච්ඡාවක් තිබෙනවා. එම සාකච්ඡාව හා සම්බන්ධ ලිපියක් මේ සමග තිබෙනවා. කියවන්න ගෝලීය සමාජයක ජාතික මට්ටමින් මාධ්‍ය නියාමනය. කොහොම වුණත්, මාධ්‍යවලින් අගතියට පත්වන මිනිසුන්ට සහන ලබාගත හැකි විධිමත් ක්‍රමවේද අවශ්‍යයි. අගතියට පත්වෙච්ච මිනිසුන්ට ඒවා වෙත පහසු ප්‍රවේශය තියෙන්නට ඕනැ. ඒ වගේම අගතිය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රතිකර්මය බලපෑම් සහිත එකක් වෙන්නට ඕනැ.

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි.