Gotabaya on wall

කොවිඩ්-19 සම්බන්ධයෙන් Test, Test, Test වෙනුවට Trace, Trace, Trace කළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ හෙට

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු බහුතරයක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. ශ්‍රී ලංකාව එම සාර්ථකත්වය අත්පත් කරගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ, හැකි තරම් වැඩි සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයට මුළුමනින් ම වෙනස්, හඹා ගොස් රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.

Translations by Creative Content Consultants

Test, Test, Test යන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත උපායමාර්ගය වෙනුවට ශ්‍රී ලංකාව අනුගමනය කළේ Trace, Trace, Trace යන උපායමාර්ගයයි.

ලොව පළමුවෙන් ම කොවිඩ්-19 පාලනය කරගත් රට වන චීනය ද Trace, Trace, Trace යන උපායමාර්ගය සමග Test, Test, Test උපායමාර්ගය ද අනුගමනය කළේ ය.

කොවිඩ්-19 පාලනය සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාවට ඉදිරියෙන් මේ මොහොතේ සිටින්නේ ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කාම්බෝජය, බුරුමය, පැපුවා නිව්ගිනියාව, අයිස්ලන්තය වැනි රටවල් කීපයක් පමණි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙම සාපේක්ෂ සාර්ථකත්වය අත්පත් කරගත්තේ ජනාධිපතිවරයා නිතර භාවිතා කරන යෙදුමක් වන out of the box චින්තනයෙන් හෙවත්, පිළිගත් සිතීමට පිටින් ගිය සිතීමක් ඔස්සේ ය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස දෙමළ කැරැල්ලට එරෙහි යුද්ධය ජයග්‍රහණය කරා රට මෙහෙයවූයේ ද එවැනි චින්තනයකිනි. ලෝකයේ පිළිගත් මතයට එරෙහි කෘරත්වයකින් කටයුතු කිරීමට ඔහුට තිබුණු ධෛර්යය හා අවදානම ගැනීමේ සූදානම හේතුවෙනි. කොවිඩ්-19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයෙහි යතුර වූයේ ලෝක මට්ටමේ වෘත්තික සංවිධාන මේ ගැන හරිහමන් අවබෝධයකින් කටයුතු නොකරන බව මැනැවින් අවබෝධ කරගැනීමයි.

වත්මන් ආණ්ඩුව කලින් පැවති ආණ්ඩුවලින් වෙනස් වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙකී එඩිතර අනම්‍යශීලීත්වය නිසා ය. එය නිරූපණය කරන තවත් උදාහරණයක් වන්නේ මේ වන විට විදෙස් රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන අනුකම්පා විරහිත හා සාර්ථක ප්‍රතිපත්තියයි.

ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 දෙනෙකු ඊයේ වනවිට මෙරටට ගෙන්වාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ පැවසී ය. ඒ අතර සිසුන් 3,000ක් සිටිති. තවත් මේ හා සමාන ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට තිබෙන නමුත්, ශ්‍රී ලංකාව එතරම් හදිසියකින් කටයුතු කරන්නේ නැත. ගෙන්වා ගන්නා සියලු දෙනා සති දෙකක නිරෝධායනයකට යටත් කෙරේ.

මේ වන විට ශ්‍රී ලංකාවට ඇතුළුවීම හා පිටවීම දැඩි ලෙස පාලනය කර තිබේ. එම පාලනය තව දුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත. සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ බිඳවැටී හමාර ය. එහෙත්, ශ්‍රී ලංකා රජය සංචාරකයන් ඇතුළු විදේශිකයන්ට නිදහසේ මෙරට සැරිසැරිය හැකි අන්දමින් නුදුරු අනාගතයකදී නම් ගුවන් තොටුපළ විවෘත කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි ය. එහෙත්, ශ්‍රී ලංකා රජය ඒ බව කියන්නේ නැත. සංචාරක කර්මාන්තයේ නියැලි අය තව අවුරුද්දක් හෝ මෙම තත්වය පවතිනු ඇති බව සිතාගත යුතු ය.

එසේම, ශ්‍රී ලංකාවේ මුදල් නාස්ති කරමින් රට රටවල රස්තියාදු ගැසූ ශ්‍රී ලාංකිකයන්ට ද තව සෑහෙන කාලයකට යළි එම නිදහස හිමි වන්නේ ද නැත. උදාහරණයක් ලෙස, මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, රජයේ නිලධාරීන්ට පමණක් නොව බඩු ගන්නට කඩේ යන තරම් පිටරට යන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රභූන්ට පවා සෑහෙන කාලයකට ආතල් අහිමි වනු ඇත.

දැනට පනවා තිබෙන ආනයන සීමා ද තව බොහෝ කාලයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන්න. ඇතැම් ආනයන සම්බන්ධ සීමා තවත් දැඩි වන්නට ඉඩ තිබේ.

ලෝකය කොවිඩ්-19න් කෙසේ පිටතට පැමිණෙනු ඇද්ද යන්න හා එයට කොපමණ කලක් ගත වනු ඇද්ද යන්න තවම පුරෝකථනය කළ නොහැකි ය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කොවිඩ්-19න් ඇති වූ තත්වය අවස්ථාවක් ලෙස භාවිතා කරමින් සිටින බව අපේ නිරීක්ෂණයයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලය තහවුරු කරගත් ඔවුන් විසින් ඊළඟට කරමින් සිටින්නේ ප්‍රතිපත්ති සම්බන්ධ දැඩි ක්‍රියාමාර්ග ගැනීමයි.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙසටයි. එහෙත්, එහි බොහෝ දෙනෙකු සිතන අන්දමේ දැවැන්ත වෙනසක් සිදුවන්නේ නැත. වඩා වැදගත් ප්‍රතිපත්ති සංශෝධන සිදු වනු ඇත්තේ අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, කෘෂිකර්ම, කර්මාන්ත, සුබසාධන වැනි අංශවලයි.

ශ්‍රී ලාංකික මධ්‍යම පන්ති මූලික ධනවාදය මෙම අවස්ථාව ආයෝජනය කරමින් සිටින ආකාරය කෙරෙහි විචාරශීලී වන්න.

Translations