Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ඒකාධිපති කොරෝනා වයිරසය

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020-10-25

රට පුරා වේගයෙන් කොරෝනා වයිරසය පැතිරෙමින් තිබේ. එහෙත්, සමාජ ව්‍යාප්තියක් නැතැයි කියන්නට රජය උත්සාහ කරමින් සිටියි.

කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් රජයේ ඒකාධිපති වියරුව පැතිරෙමින් තිබේ. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට දරන ප්‍රයත්නය එහි ප්‍රධාන ලක්ෂණයකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත ඇතැම් ඒකාධිපතිවාදී වගන්ති ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදු වී තිබේ. එහෙත්, ද්විත්ව පුරවැසියන්ට රටේ ජනාධිපති ධුරය ඇතුළු වගකිව යුතු තනතුරු දැරීමට ඉඩ දීමේ කොන්දේසිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් කටයුතු කරන්නේ අනම්‍ය ලෙසයි.

වත්මන් ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියකුව සිට අධිකරණයේ පවා විභාග වූ, එසේ තිබියදීත් පූර්ණ ලෙස පැහැදිලි නොවූ ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් අයෙකි. වගකිව යුතු නිල තනතුරක් දරන්නේ නැතිව, ජනාධිපතිවරයාට සමීපව බලවත් පුද්ගලයකු බවට පත් වී සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ඇමරිකානු පුරවැසිභාවය මෙන් ම ලංකාවේ බලය අතහැර දැමීමට ද සූදානමක් නැත.

අන් සියලු කාරණාවලටත් වඩා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැඩි ලෙස ම විරෝධය එල්ල වන්නේ ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති ධුරය දක්වා වගකිව යුතු තනතුරු දැරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඇමති වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේදී ම කතා කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් බිලී බාගැනීමට තැත්දැරීමක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ ඇති වූ උණුසුම් කතාබහක් අවසානයේ විමල් වීරවංශ ඇමතිවරයා හා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් නිර්මාණය වූ බව ද විමල් වීරවංශට අයත් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ ම වාර්තා කර තිබිණි.

ද්විත්ව පුරවැසි ප්‍රශ්නය හේතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල හා වාසුදේවගේ පක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂය තුළින් පවා මෙම සටහන තබන මොහොත වන විට යම් යම් ආකාරයන්ගෙන් විරෝධය පළකරමින් සිටියි.

ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මහජනයා අතර ප්‍රධාන ම භූමිකාවක් ඉටු කළ භික්ෂු බලවේගය ද මෙම ප්‍රශ්නය මත ආණ්ඩුවෙන් බිඳිී යන තත්වයක් නිර්මාණය වී තිබේ. මෙය මූලික වශයෙන් ම ආණ්ඩුවේ ජාතිකවාදී බලවේගය හා විජාතික බලවේගය අතර ගැටුමක් ලෙස හඳුනාගැනීමේ වරදක් නැත.

මෙම තත්වය තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මිළ දීගෙන හෝ ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන් මිළ දීගෙන හෝ බැසිල් රාජපක්ෂවාදී න්‍යායෙන් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ඉඩ තිබේ. බදිඋදීන් මන්ත්‍රීවරයාට එරෙහිව කටයුතු කළ ආකාරයෙන් පමණක් නොව, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආසන්නයේදී මාකඳුරේ මදුෂ්ට සිදු වූ දෙයින් ද මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් කිරීමට ආණ්ඩුවේ නායකයන් උත්සාහ කරන බව පෙනේ. ඒ තමන් ඉදිරි කාලයේදී මර්දනකාරී ලෙස කටයුතු කරන බවට අඟවන්නට ය. ඒ නිසා බිය වී ඡන්දය දිය යුතු බව ය. එහෙත්, ඇත්ත තත්වය වන්නේ බියපත් විය යුතු තත්වයක ඉන්නේ ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂයි. ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුව තුළින්මත්, ජාතික බලවේගයෙන් හා භික්ෂු පෙරමුණෙනුත්, වෘත්තීය සමිති වැනි සිවිල් සමාජ සංවිධාන හරහා අවසානයේදී ලුම්පන් බලවේගයෙනුත් ගොඩනැගෙමින් තිබෙන විරෝධය සුළු පටු එකක් නොවන බව ඔහු තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ.

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත.

බැසිල්වාදී දේශපාලනය ආණ්ඩුව තුළ ජයග්‍රහණය කිරීම ජාතික සංවිධාන එකමුතුවෙහි ඉදිරිපෙළ නායකයකු වන ගුණදාස අමරසේකර විසින් ‘වසල වෙළඳ කුලය’ ලෙස නම් කරන ලද බලවේගය අලුත් වටයකින් ජයගැනීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. බැසිල්වාදී දේශපාලනය විසින් නියෝජනය කරන්නේ එම බලවේගයයි.