Lal Wijenayake

එක්සත් වාමාංශික පෙරමුණ සජිත්ට; ලාල් විජේනායක අනුරට

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය.

ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණය කර තිබේ. මෙම යෝජනාව ට පක්ෂව මධ්‍යම කාරක සභිකයන් 30ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර, සිව්දෙනෙකු විරුද්ධ වී දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.

දැනට කිසියම් පක්ෂ සාමාජිකයකු වෙනත් ජනාධිපති අපේක්ෂකයකුට සහාය දක්වන්නේ නම්, එම ප්‍රචාරණ කටයුතුවලදී සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බව ද එම යෝජනාවේ සඳහන් වේ.

එම අවස්ථාවේදී ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලික ලේකම්වරයකු පත් කරගත යුතු බවට ජයම්පතී වික්‍රමරත්න යෝජනා කර තිබේ. එම අවස්ථාවේදී ලාල් විජේනායක තමන් පක්ෂ ලේකම් ධුරයෙන් අස් වන බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, කීර්ති කාරියවසම් ලේකම් ධුරය සඳහා පත් කරගෙන තිබේ.

සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන වමේ රැළියක් ඔක්තෝබර් 28දා පෙ.ව. 11ට කොළඹ නව නගර ශාලාවේදී එක්සත් වාමාංශික පෙරමුණේ නායකයන්ගේ, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ඔක්තෝබර් 30දා මීගහතැන්න නගරයේදී කීර්ති කාරියවසම්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් සිවිල් සංවිධාන නායකයන්ගේ සහභාගිත්වයෙන් මහජන රැස්වීමක් පැවැත්වේ. මතුගමදී ඔක්තෝබර් 27දා ද, ඔක්තෝබර් 4දා බදුරලියේදී ද, 6දා බුලත්සිංහලදී සහ කළුතර දිස්ත්‍රික්කය පුරාමත් රැස්වීම් සංවිධානය කර තිබේ.