Kalutharin Patangamu

එක්ව නැගිටිමු. කලුතරින් පටන්ගමු

අජිත් පැරකුම් ජයසිංහ

කලුතර රැස්වීමේදී සංජීව එදිරිමාන්න ෆීනික්ස් පක්ෂියා ගැන කියූ කතාව බොහෝ අය නිතර කියනවා. එහෙත්, අලු දූලි මතින් නැගිටීම ගැන සැබෑ උදාහරණ අඩුයි. ජනතා විමුක්ති පෙරමුණ එසේ නැගිටපු පක්ෂයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර රැස්වීමත් එහෙම එකක්. මැයි 9 පළිගැනීමේ ත්‍රස්තවාදය විසින් ඔවුන්ට කළ හානිය අති විශාලයි. ඔවුන් දැඩි භීතියකට හා අනාරක්ෂාවකට පත්වුණා. ඒ වගේම පක්ෂයත් සීසීකඩ විසිරුණා. ඩලස්, විමල්, ගම්මන්පිල, වාසු වැනි අය වගේම චරිත හේරත්ලා, නාලක ගොඩහේවලා වගේ මහින්දගේ ජනප්‍රියත්වයේ පිහිටෙන් ඉදිරියට ආපු වියත්මගේ අයත් පක්ෂය හා නායකත්වය පාවාදුන්නා.

අරගලය කෙසේ වෙතත්, මේ ප්‍රචණ්ඩත්වය විසින් නම් රාජපක්ෂවාදීන්ට ඉගැන්නුවේ සුළුපටු පාඩමක් නෙමෙයි. මහජනයා නම් බලවේගය ගොනාට අන්දමින් ඔවුන් පසුපසින් ගෑටූ මුග්ධ ගමන් මාර්ගය වෙනස් කළ යුතුය යන පණිවුඩය පොහොට්ටුවේ දේශපාලන වෘත්තිකයන්ට බරසාර ටොක්කක් අනිමින් මහජනයා කියාදී තිබෙනවා. ඒ නිසා පොහොට්ටුව අලුතින් සිතිය යුතුයි.

පොහොට්ටුව රනිල්ට සහාය දෙන එක මා නම් දකින්නේ ඉතා සාධනීය පරිවර්තනයක ලකුණක් ලෙසයි. ඒ නිසා මේ පරිවර්තනීය අවධියේ පොහොට්ටුව ඉතාම වැදගත් දේශපාලන බලවේගයක්. එකෙ වෙන පරිවර්තනයත් රටේ අනාගතයට ඉතා වැදගත්. නාමල් රාජපක්ෂ කලුතර රැස්වීමෙදි පවත්වපු කතාව දේශපාලන වෘත්තිකයකු ලෙස ඔහුගේ ලොකු පරිණාමයක් නිරූපණය කරනවා.

දේශපාලන පක්ෂවලට අභ්‍යන්තර සුද්ද කරගැනීමක් අත්‍යවශ්‍යයි. ඒ අනුව, පොදුජන පෙරමුණට ඩලස්ලා, විමල්ලා, ගම්මන්පිලලා, නාලකලා, චරිතලා වගේ අය හලාදාන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ සුද්ද වීම ඇතුළෙ නැවතත් රාජපක්ෂවාදය තමයි ඉදිරියට එන්නෙ. කොටින්ම නාමල්ම තමයි නායකයා වෙන්නෙ.

එක්සත් ජාතික පක්ෂය නම් සුද්දම වෙලා ඉවරයි. අලුත් වෙන්නයි අවශ්‍ය. සමගි ජන බලවේගයත් පණ අදින පක්ෂයක්. ජවිපෙ හැර අනෙක් පක්ෂවල වැදගත්කම දවසින් දවස අඩුවෙමින් තිබෙනවා. ජවිපෙ මුහුණදෙන අභියෝගය වෙන්නෙ ඉතිහාසයක බර හා පරිවර්තනයට තියෙන බිය අතර ගැටුම. පොහොට්ටුවට එහෙම එකක් නැහැ. උන් රාජ්‍ය ධනවාදයේ සිට ගෝඨාභය යටතේ පෙසප මතවාදයට යටත් වන තැනටත් පසුබැස්සා. ඉන් පස්සෙ රනිල්ට යටත් වුණා. ඉදිරියේදි උන් ඕනැ ප්‍රැග්මැටික් හැඩගැසීමක් කරගනියි. නාමල් වගේ නායකයෙකුට ඒක කොහොමත් ලේසි වෙයි. ජාතිකවාදයත් ආපහු දිනාගනියි.

කෙසේ වෙතත්, පුළුල් සන්ධානයක් පිහිටුවාගන්නට රනිල් අසමත් වුවහොත් රනිල් හා රාජපක්ෂලා අතර නැවත ගැටුම් ඇතිවීමේ ඉඩක් තියෙනවා.

මොනවා වුණත්, කඩිනමින් මැතිවරණ පැවැත්වෙන්නේ නැහැ. ඡන්දයක් ඇත්තටම එන්නෙ ඡන්දයක් එයි කියලා ලණු කාලා රට වටේ රැස්වීම් ජෝගි නටලා අනුරලා, සජිත්ලා තියෙන සේසත නැතිකරගත්තාට පස්සෙ වෙන්නත් බොහෝවිට ඉඩ තියෙනවා. ණය ප්‍රතිව්‍යූහගත කරගෙන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයත් අරගෙන, ප්‍රධාන පාඩු ලබන රාජ්‍ය දේපල කීපයකුත් ප්‍රතිව්‍යූහගත කරලා, අලුත් දිළිඳු සහනාධාර ක්‍රමයකුත් ස්ථාපිත කරලා, උද්ධමනයත් අඩු කරලා, නැවත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිත් පටන් අරගෙන 2024 තමයි ආණ්ඩුව ඡන්දෙකට යන්නෙ. ඊට කලින් සමහරවිට මැතිවරණ ක්‍රමය වෙනස් කරන ජනමත විචාරණයකුත් එයි.