COVAX

ඇමරිකාව, කොවැක්ස් හා ජාතිකවාදය

අජිත් පැරකුම් ජයසිංහ

COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවුණා. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100ක් මෙම තොගයට අඩංගු වුණා.

අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත් 264,000ක පළමු තොගය පසුගිය මාර්තු මාසයේදී දිවයිනට ලැබුණා.  

ශ්‍රී ලංකාවට මේ එන්නත් ලැබෙන්නේ මේ රට ගිලගැනීමේ ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස නොවෙයි. එසේම, බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකු නිසාත් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ හිටපු පුරවැසියකු නිසාත් නොවෙයි. ලංකාවේ ආණ්ඩුවේ සිංහල ජාතිවාදී චන්ඩ් ටෝක්වලට ලෝකය බය නිසාත් නෙමෙයි. එහෙනම් ඇයි? පිළිතුර සරලයි. ජාත්‍යන්තර ප්‍රජාව අපේ නායකයන්ට වඩා මානුෂික හා බුද්ධිමත් නිසායි.

මෙය ලැබෙන්නේ ලොව පුරා කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා වන මාත්‍රා බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය යටතේය.  

ආරක්ෂිත හා ඵලදායී කෝවිඩ්-19 එන්නත් අප සැමට ලබාදීම සඳහා මානව නවෝත්පාදනය හා විද්‍යාව සමත් වී තිබෙනවා. අප එයට ස්තුතිවන්ත විය යුතුයි. මෙය ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ විශාලතම හා සංකීර්ණම මෙහෙයුමයි. COVAX පහසුකම යටතේ එන්නත ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමේදී එක්සත් ජාතීන් විසින් ඉතා  වැදගත් භූමිකාවක් ඉටුකරනවා.

සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවකු ආරක්ෂිත නැහැ. ලොව කිසිදු රටකට දේශසීමා වසාගෙන කොවිඩ්-19න් ආරක්ෂා වන්නට බැරි තරමට මේ අධි වසංගතය ජාත්‍යන්තරවාදීයි. දැනට තිබෙන එන්නත්වලට වසංගතය මෙල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඒත්, ඩෙල්ටා, ලැම්ඩා ආදියටත් වඩා දරුණු ප්‍රභේද ඉදිරියේදී ඇතිවුවහොත් අපට වසංගතයට එරෙහි සටන බිංදුවේ සිට අලුතින් පටන්ගන්නට සිදුවේවි. ජාතිවාදී පදනමින් තමන්ගේ ජනතාව වෙනුවෙන් තම රට තුළ එන්නත් ගොඩගසාගෙන නොඉඳ හදිසි සැපයුම් හිඟයන් පියවාගැනීම සඳහා එන්නත් බෙදාහදාගන්නට ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවත් රටවල් ඉදිරිපත් වී සිටින්නේ ඒ නිසායි.

ලංකාවේ වෛද්‍යවරුන් පවා මේ තත්වය තේරුම් ගත්තේ නැහැ. දේශපාලකයන් වගේම සෞඛ්‍ය බලධාරීනුත් එන්නත් සොරකම් කර ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් යොදාගත්තා. අප සියලුදෙනා නැවත නැවතත් අවධාරණය කරගත යුතුව තිබෙන කාරණය වන්නේ සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවකු ආරක්ෂිත නැහැ. ඒ තමයි, කොවිඩ් 19.

COVAX යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වන ගෝලීය සන්ධානය (GAVI), වසංගත සූදානම සම්බන්ධ නවෝත්පාදනයේ සන්ධානය (CEPI) සහ UNICEF අතර හවුල්කාරීත්වයක්. එහි අරමුණ වන්නේ කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීමයි.

Creative Content Consultants