hartal

අරගලය හා දේශපාලනික හිරවීම

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ.

ආණ්ඩු විරෝධය රට පුරා ගම් නියම් ගම් දක්වා විහිද, පැතිර තිබෙන බව මැයි 6දා හර්තාල් ව්‍යාපාරයෙන් ඔප්පු විය. එම මහජන අදහස්වල නිසි නියෝජනයක් හා ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදනය වෙත යොමුවීමක් පාර්ලිමේන්තුවෙහි හෝ විධායකය වන ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙහි හෝ නැත.

රාජපක්ෂලාට රට වැදගත් නැත. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ බලයේ එල්ලීසිටීමයි. ආරක්ෂාව සඳහා බලය අත්‍යවශ්‍යය. සෙසු බලවේග ද රට ගැන සිතිය යුත්තේ රාජපක්ෂලා සිතන ආකාරයටද?

ආර්ථික වශයෙන් රට ගොඩගැනීම සඳහා දේශපාලනික ස්ථාවරභාවය වැදගත්ය. අතිශය ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍යය. ඒ සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍යය. නැතිනම්, ආණ්ඩුවට ඒවා කරන්නට සිදුවන්නේ මර්දනයෙනි.

රාජපක්ෂ ආණ්ඩුවට තිබෙන ප්‍රබලම තර්කය ජනවරමයි. 69 ලක්ෂයක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු හා තුනෙන් දෙකේ ජනවරමක් ලද පාර්ලිමේන්තුවක් බලයේ ඇත. එළියේ දැවැන්ත ආණ්ඩු විරෝධයක් තිබෙන බව සත්‍යයකි. එහෙත්, එය ආණ්ඩුවට තිබෙන ජනවරමට පටහැණි බව සාක්ෂි සහිතව පෙන්වීමේ හැකියාවක් නැත. ඒ සඳහා මැතිවරණ පැවැත්විය යුතු මුත්, ඒ සඳහා ද නීතිමය, මූල්‍ය හා වෙනත් ප්‍රතිපාදන නැත.

අරගලය පාර්ලිමේන්තුව හරහා බල හුවමාරුවක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාවක් තිබෙන බවක් නොපෙනේ. එයට ප්‍රධාන හේතු වන්නේ, ආණ්ඩු පක්ෂයට හා එහි කැඩී බිඳී ගිය කොටස්වලට පමණක් නොව, විපක්ෂයේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය වැනි පක්ෂවලට ද එවැනි උවමනාවක් නැති වීමයි. ඒ නිසා ඒ සම්බන්ධ අවංක මැදිහත්වීමක් කුමන හෝ පාර්ශ්වයකින් සිදුවන්නේ නැත. ආණ්ඩුව ඇතුළෙන් මෙම ප්‍රවේශය ලබාගත් ඩලස් අලහප්පෙරුම වැනි අයට පවා ඉදිරියට යාමට නොහැකි විය.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් ඉල්ලා සිටින්නේ මැතිවරණයි. නීතිමය හා ප්‍රායෝගික තත්වයන් තුළ මැතිවරණ පැවැත්විය හැකිද?

අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන අන්තර්වාර පාලනයකට යම් දුරකට හෝ එකඟතාවක් ආණ්ඩුව පැත්තෙන් තිබීම සාධනීයය. අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූල, විධිමත් යෝජනාවලියක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම පසුබිම තුළ මහජන විරෝධතාව අන්තර්වාර පාලනයක් දිනාගැනීම සඳහා නාභිගත කර තීව්‍ර කළ යුතුය. සමගි ජන බලවේගයට හා ජාතික ජන බලවේගයට ද අන්තර්වාර පාලනයකට බලකළ යුතුය. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව එහිදී පදනම් කරගත හැකිය.

එසේ නැතිනම් මැතිවරණ පැවැත්විය යුතුය. මැතිවරණ දිනාගත හැකිවන්නේ ද පාර්ලිමේන්තුව හරහාමය.

එහෙමත් නැතිනම් රාජපක්ෂලා සමග සම්මුතියකට යා යුතුය.

එහෙමත් නැතිනම් විප්ලවීය ක්‍රියාමාර්ග තීව්‍ර කළ යුතුය.

පාර්ලිමේන්තුවෙන් එළියේ මහජන බලයක් සම්බන්ධ යෝජනාව එහිදී වැදගත්ය. එහෙත්, එය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එම යෝජනාවේ නිර්මාතෘවරුන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පවා අදහසක් ඇති බවක් නොපෙනේ. එය හුදු සටන් පාඨයක් නොවන්නට සම් එය සැමට විවෘත සංවාදයකට භාජනය විය යුතුය.

එවැනි ක්‍රියාවලියක් අසාර්ථක වීම පිළිබඳ මෑත උදාහරණයක් මෙහිදී සැලකිල්ලට ගත හැකිය. එනම්, දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවයි. Transnational Government of Tamil Eelam ලෙස ගූගල්හි සෙවුමක් කර බලන්න.