Galleface Kiribath

‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක්

අජිත් පැරකුම් ජයසිංහ

මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි.

මේකෙදි එක පැත්තක හමුදාව ඉන්නවා. අනෙක් පැත්තෙ ‘අරගලකරුවන්’ සහ ඔවුන්ගේ මාධ්‍ය ඉන්නවා.

හමුදාව කොහොමත් සන්නද්ධයි. අරගලකරුවන් ඉන්නෙ කිරිබත්වලින් සන්නද්ධ වෙලා. කිරිබත් කියන්නෙ ලංකාවෙ ආහාරයක් ඉක්මවා ගිය දෙයක්. විශේෂයෙන්ම දේශපාලනික ආධිපත්‍යයේ ප්‍රකාශනයක් ලෙස සිංහල ජනයා 2009දී, 2019දි සහ තවත් අවස්ථාවලදි කිරිබත් ඒ විදියට පාවිච්චි කර තිබෙනවා. මෙතනදිත් කරන්නට උත්සාහ කරන්නෙ ඒක.

මෙතනදි උපායමාර්ගය වෙන්නෙ හමුදා සෙබළෙකුට කිරිබත් කවා ඡායාරූපයක් ගැනීම. කැමරාකරුවන් මළ පෙරේතයන් වගේ ඡායාරූපයට රොද බඳින ආකාරය නම් පිළිකුල් සහගතයි.

හයක් හතරක් නොදන්නා ළමයකුවත් මෙතනට ඇදගෙන ඇවිත් ඒ ළමයා ලවා හමුදාවට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. මිලිටරි අරමුණක් වෙනුවෙන් ඔවුන් උත්සාහ කරන්නේ ඒ දරුවාව අපයෝජනය කරන්නටයි. සොල්දාදුවන් කිරිබත් නොකන නිසා ඔවුන් ළමයා යොදවා ඔවුන්ට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ අරමුණ ඡායාරූපයයි. ඒක ඉෂ්ට වෙන්නෙ නැහැ.

ඔවුන් එතන සිටින දුර්වලයකු යයි පෙනෙන සොල්දාදුවකුට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. ඉල්ලීම් කරනවා. බලපෑම් කරනවා. දේශන පවත්වනවා. ‘අරගලයට ජයවේවා!’ කියන අර මූලික හැඩයෙන් ‘හේල් හිට්ලර්’ සටන් පාඨයට සමාන පාඨය සජ්ජායනයත් කරනවා.

වීඩියෝවේ අවසානය විකට ජවනිකාවක්. වීඩියෝකරු කිරිබත් නොකෑ නිසා හමුදාවට බලු බැනුම් බණිනවා. ඒ බණින්නෙ ‘ආදරයේ අරගලය’ කියන යෙදුමත් පාවිච්චි කරමිනුයි.

මේක අරගලය ගැන ගැඹුරු ප්‍රකාශනයක් සිදුකරන කෙටි චිත්‍රපටයක් ලෙස සලකා මෙහි නිර්මාපකයාට (පානදුරේ ලාල්?) සම්මානයක් දෙන්නට වුණත් පුළුවන්. ලාල් නම් හිටියෙ රාජිත එක්ක. රාජිත ඉන්නෙ ඇත්තටම සජිත් එක්කද?

අරගලය කියන්නෙ කැරැල්ලක්. ඒ ගැන බොහෝ දේශපාලකයන්ට පවා හරි අවබෝධයක් නැහැ. ඒත්, අරගලයට ගොඩනඟපු සමාජ මාධ්‍ය කණ්ඩායම් ආදියේ මුල සිටම විවිධ දේශපාලන බලවේගවල ඉත්තන් හිටියා.

එජාප සමග සම්බන්ධ ව්‍යාපාරිකයන් තමයි දැන් වාර්තා වෙන විදියට ගෝල්ෆේස් එකට ඇතැම්විට බත් බුරියානි දුන්නේ. අරගල භූමියේ තියෙන ශාන්ත ජෝන් ප්‍රථමාධාර කඳවුර උදාහරණයකට ගන්න. ලංකාවේ සෙන් ජෝන්ස් සභාපති මා දන්නා විදියට ශාක්‍ය නානායක්කාර. ඔහු කවුද? රනිල් වික්‍රමසිංහගේ යෞවන සමාජ සම්මේලනයේ පළමුවෙනි ලේකම්.

මේ වගේ තීරණාත්මක බල අරගලවලට, කැරැලිවලට, යුද්ධවලට ඔබ දායක වෙනකොට මෙවැනි කාරණා ගැනත් අවධානය යොමුකරන්න. හදවතින් දේශපාලනය කරන්න ඕනැ. හැබැයි, ඒ ගමන් බුද්ධියත් වර්ධනය කරගන්න.

වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න:

https://www.facebook.com/633964325/videos/610346813853095/