Ranil meets civil society groups

අපි රනිල් එක්ක තරහ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

මෙතන ඉන්න වැඩිදෙනෙක් රනිල් එක්ක තරහයි. ඇයි ඒ?

බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ.

හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ.

රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල් කිරීමෙනුත් අපට පුළුවන් පොරවල් වෙන්න. අපට බැරි පුළුවන් ඒව මොනව වුණත්, අපි විෂම ලිංගික පිරිමිය කිව්වාම තියෙන ගැම්ම කොහොමද, නේ!

රනිල්ගෙ නෝන ලස්සනයි. උගත්. බුද්ධිමත්. සංස්කෘතිකයි. අපට ඉතින් එහෙමම අය නෑනෙ. ලස්සන තිබුණොත් වෙන මොකක්හරි නැහැනෙ.

රනිල් කොළඹ. අපි ඉතින් ඩොටේනෙ.

රනිල්ගෙ තාත්තයි, අම්මයි ඉහළ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වුණ ප්‍රභූවරු. අපේ ඉතින් අම්මල තාත්තල ගමේ ඉස්කෝලෙ මහත්තුරු, ඉස්කෝලෙ හාමිනේල වගේ අයනෙ.

රනිල්ලට පරම්පරාවක්, ලොකු ඥාතියො ඉන්නවා. අපට ඉතින් කවුද ඉන්නෙ?

රනිල්ල ප්‍රභූවරු. ඒ නිසා රනිල්ට සමාජයේ ගරු නම්බු ලැබෙනවා. අපට හුළං.

රනිල් හොඳට ඉංග්‍රීසි කතාකරනවා. අපි ඉතින් ගැටගහගෙන අමාරුවෙන් කියන ඒවා රනිල්ට නිකම්ම කියවෙනවා.

රනිල් කීමේ බිනීමේ ශූරයෙක්. එහෙම වෙන්න ඉතින් පොතපත, බුද්ධිමත් අය ඇසුරු කරන්න ඕනැ. හිතන්න පුළුවන්කම තියෙන්න ඕනැ. අපට ඉතින් ඕව කරන්න වෙලාවක් නැහැ. ජීවන අරගලේනෙ.

රනිල්ලට පරම්පරාවෙන් ලැබුණු දේ නිසා අපට වගේ ජීවන අරගලයක් නැහැ. අපි වගේ අනාගතේ ගැන බයෙන් වෙන රටකට පැනගන්න හැටි හිත හිත ජීවත්වෙන්න ඕනැ නැහැ.

රනිල්ට කොළඹ පාරම්පරික නිවසක් තියෙනවා. ඒ ගෙදර වටිනා චිත්‍රයි, බුදු පිළිමයි තියෙනවා. ලොකු ලොක්කො අස්සන් කරල දීපු පොතුත් තියෙනවා. අපේ ගෙවල්වලත් පොත් තියෙනවා. ඒ වුණාට බස්සෙකේ ගෙදර යනකොට නින්දෙන් ඔලුව වැදිලා ගෙඩි ගැහිලා අඳුනගන්න බැරිවෙන තරමට දුරයි.

රනිල් අපව ගණන්ගන්නෙ නැහැ. එයා ගණන්ගන්නෙ රෝයල් ගිය, එයාගෙ ක්ලාස් එකේ කට්ටිය. රෝයල් ගියාය කියලා හැම එකාම ‘රෝයල්’ වෙන්නෙ නැහැ. අපට ආත්මයක් නෑ, මළ පයිනවා ඕයි!

රනිල්ට කොච්චර කඩේ ගියත් වැඩක් නැහැ. ඌ තැන්කියුවත් කියන්නෙ නැහැ. ඌ හිතාගෙන ඉන්නෙ ඔන්න මං ඉන්නවා බොලට කොරන්න. බොලට ඕනැ නම් මාව බලයට පත්කරලා මට සපෝට් කරපල්ලා. මට හරියට හිතුණොත් මං කරනවා. නැතිනං ඉතින් මට කරන්න දෙයක් නැහැ.

අපි වැඩිදෙනෙකු රනිල් එක්ක තරහ ඔන්න ඔය වගේ හේතු නිසා.

මං වගේ වෙන්න. රනිල්ව ගණන් ගන්න එපා. උගෙන් අපේ වැඩේ කරගන්න. උගෙන් ඩේට කාඩ් එකක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා පුතෝ. (අවුලක් නැහැ. ඌ කොහොමත් මං මෙච්චර කඩේ ගියත් මාව දන්නෙවත් නැහැ.)