gotabaya rajapaksa in organic farm

අන්තෝ ජටා බහි ජටා

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-01-10

රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට අතිවිශාල වශයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහී හමාරය. නිර්මාණය වී තිබෙන ආර්ථික අර්බුදය එයට ප්‍රධාන හේතුවයි. එය ඔවුන්ගේ ආර්ථික දේශපාලනික වැඩසටහන්වලට ද බාධාවකි. පසුගිය සතියේ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ආර්ථික සහන පැකේජ අනුව සංස්ථා, මණ්ඩල, අධිකාරි ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන් 1,450,450කට රු. 5,000ක දීමනාවක් වැටුපට එකතු වේ. විශ්‍රාමිකයන් ලක්ෂ පහකට වැඩි පිරිසකට ද මෙම රු. 5,000 දීමනාව හිමිවේ. ඒ වෙනුවෙන් යන වියදම වසරකට රු. බිලියන 1.27ක් වේ. සමෘද්ධිලාභීන් 1,793,000කට දැනට ගෙවන උපරිමය රු. 3,500 වන දීමනාව රු. 1,000 දක්වා මුදලකින් වැඩි කෙරේ.

වී සඳහා දැනට සහතික මිල වන රු. 50ට එකතු කරන රු. 25 රජයෙන් දරන බව ද පැවසීය. ගෙවතු වගාවන්ට ද මුදල් ලබාදෙන බව කීව ද මෙම ගෙවීම් සිදුකිරීම හා ඒ හා සම්බන්ධ අධීක්ෂණය අතිශය දුෂ්කර කාර්යයකි.

සේවක භාරකාර මණ්ඩලයේ සාමාජික වතු කම්කරුවන්ට තිරිඟු පිටි අඩු මිලට ලැබෙන අතර, ඖෂධ හා ආහාර සඳහා බදු අවම කිරීමට ද රජය තීරණය කර තිබේ.

රු. බිලියන 229 වටිනාකමක් සහිත මෙම සහන පැකේජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%ක් වේ. ඒ වෙනුවෙන් රු. බිලියන 3.9ක අතිරේක මුදල් සපයාගෙන ඇති බව මුදල් ඇමතිවරයා පැවසීය. එහෙත්, ඒ සඳහා අලුත් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, මෙම මුදල් අලුතින් මුද්‍රණය කර ඇතැයි අනුමාන කළ හැකිය.

පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 12.1%ක් විය. ඩොලර් බිලියන 3.1%ක විදේශ සංචිත දැනට ශ්‍රී ලංකාව සතුය. එය ප්‍රමාණවත් වන්නේ දෙමසක ආනයන සඳහා පමණි. දැනට ද වෙළඳපොළේ ගෑස්, සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටිවලින් කරන නිෂ්පාදන ආදිය හිඟය. ඉදිරි කාලයේදී රටේ මුදල් සංසරණය වැඩිවීමට ද, භාණ්ඩ තව තවත් හිඟවීමට ද ඉඩ තිබේ. මුදල් මුද්‍රණයත් සමග උද්ධමනය ද ඉහළ යනු ඇත.

මෙම සහන පැකේජයෙන් රාජපක්ෂවරුන් බලාපොරොත්තු වුණේ ගිලිහී යන ජනප්‍රියත්වය යළි දිනාගෙන සිය වැඩසටහන ඉදිරියට ගෙනයන්නට නම්, එය ද කෙතරම් දුරට සාර්ථක වේද යන්න සැක සහිතය.

මෙම තත්වය රාජපක්ෂ පාලනය තව තවත් පිරිහීමට හේතු වනු නිසැකය. ඔවුන් වෙනුවට වෙනත් පාලනයක අවශ්‍යතාව ජනතාව අතර දැනටත් මතුවී තිබේ. එහෙත්, ඔවුන් ඉවත්කරන්නේ කෙසේද? ඒ සඳහා ක්‍රම දෙකක් තිබේ. එකක් නම්, මහ මැතිවරණයක් වෙනුවෙන් අරගල කර එමගින් ඔවුන් පරාජය කර, දෝෂාභියෝගයක් හෝ ජනාධිපතිවරණයක් හරහා ජනාධිපති ඉවත් කිරීමයි. අනෙක් ක්‍රමය විප්ලවීය ක්‍රමයකි. එහිදී කිසිදු නීතියක්, ව්‍යවස්ථාවක් අදාළ නොවන අතර විප්ලවය විසින් නීති හා ව්‍යවස්ථා නැවත හැඩගස්වනු ඇත. ලංකාවේ ජනතාව එවැනි විප්ලවයකට පෙළගැස්විය හැකිද යන්න තීරණය වන්නේ ඒ සඳහා වන නායකත්වයේ අවදානම කවුරුන් හෝ භාරගැනීමත් සමගයි.

කෙසේ වෙතත්, අතරමග යම් යම් ප්‍රතිව්‍යූහගත වීම් ද සිදුවිය හැකිය. අගමැති හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අලුත් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම එසේ සිදුවිය හැකි දෙයකි. කුමක් වුවත්, ඉතා පැහැදිලිවම, ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරගැනීම පහසු නැත. දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය ආයෝජන ද සිදුනොවන නිසා ආර්ථිකයේ අර්බුදය උඩුදුවනු ඇත. වසංගතය පාලනය වීම හා සංචාරක කර්මාන්තය යළි පණගැනීමත් සමග ශ්‍රී ලංකාවට අලුත් අවස්ථා උදාවීමටත් ඉඩ තිබේ. විදේශ රැකියා වැනි අවස්ථා පුළුල් කරගත හැකි නම් ශ්‍රී ලංකාවට ක්ෂණික විසඳුම් නිර්මාණය කරගත හැකිය.

රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විදේශ ණය ගෙවා දමමින්, නැවත ණයගැනීමට හැකි තත්වයක් නිර්මාණය කරගන්නා අතර, යුගදනවි වැනි අමුතු ආයෝජන හරහා විදෙස් ආයෝජන දිරිගන්වාගැනීමටයි. මහජන විරෝධය සමනය කරගැනීම සඳහා ඔවුන් දැනට උත්සාහ කරමින් සිටින්නේ සහන ලබාදීම ඔස්සේය. මහජනයා වීදි බසින තත්වයක් නිර්මාණය වේ නම් මර්දනයේ හස්තය දිගුකරන්නට ඔවුන් පසු නොබසින්නට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන එක්සත් පෙරමුණට එකතු වූ ජ්‍යේෂ්ඨ ශ්‍රීලංකාකාරයකු වන සුසිල් ප්‍රේමජයන්තට දී තිබුණු දෙවන පෙළ රාජ්‍ය ඇමති ධුරයෙන් ද ඔහු නෙරපා හැරීම මගින් සංකේතවත් වන්නේ ආණ්ඩුව පළමුව අභ්‍යන්තර මර්දනයක් ඔස්සේ තම නායක බලවේගය විනයගත කරගැනීමට උත්සාහ දරණ බවකි. එහෙත්, එය තරමක් අවදානම් තත්වයකි. ආණ්ඩුව ඇතුළෙන් නිර්මාණය වන පිපිරීම් හැමවිටම රාජපක්ෂ පවුල් පාලනයට වාසිදායක නොවන්නට පුළුවන. උදාහරණයක් ලෙස, රාජපක්ෂවරුන්ට මුළුමනින්ම අවනත නොමැති අගමැතිවරයකු ආණ්ඩුව තුළින්ම බිහිවන්නට යම් ඉඩක් තිබේ.

වරක් එක් දිව්‍ය පුත්‍රයෙක් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසූ බව දැක්වේ.

අන්තො ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාම
සො ඉමං විජටයෙ ජටං’ති

ඇතුළතත් පිටතත් වශයෙන් ඇතිවන අවුල ලිහීමට කවරකු සමත්වේද යන්න එහි අරුතයි. බුදුන්ගේ පිළිතුර මෙසේය:

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

සීලයෙහි පිහිටා සමාධියෙන් යුතුව ප්‍රඥා විදර්ශනා වඩන නුවණැති භික්ෂු තෙම එම අවුල් ලිහා දමන බව එහි අරුත බවයි. ශ්‍රී ලංකාවට ද අවශ්‍යව තිබෙන්නේ එවැනි නායකත්වයකි.