Malcom Cardinal Cooray with Mahinda and Shiranthi Rajapaksa

හරින් ප්‍රනාන්දු කාදිනල් ගැන කී දෙය නම් හරි ය

අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරගෙන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පොහොට්ටුවට පක්ෂපාතී දේශපාලනයක නියැලුණ බව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය දරණ සමගි ජන බලවේගය පවා ඔහුට එරෙහිව අවි අමෝරාගෙන ය.

ජාතික සමගි ජනබලවේගය තුළ ඇති බල අරගලය හේතුවෙන් හරින් සමග පෞද්ගලික තරහ මරහ ඇති කාවින්ද ජයවර්ධනගේ සිට සජිත් ප්‍රේමදාස දක්වා පිරිස් හරින් ප්‍රනාන්දුට පහර දෙන්නට පටන් ගෙන තිබේ.

එහෙත්, හරින් ප්‍රනාන්දු කීවේ බොරුවක් නොවේ. ඇත්තකි. පාස්කු ප්‍රහාරය සමග කාදිනල් රංජිත්ගේ චර්යාව තුළ දක්නට ලැබෙන්නේ තනිකර පොහොට්ටු හිතවාදී දේශපාලනයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා සරල සත්‍යයක් තිබේ. මුස්ලිම් අන්තවාදයේ අයන්නේ සිට අංයන්න දක්වා සියල්ල දන්නා විශේෂඥයන් දැන් පඳුරක් පඳුරක් ගානේ සිටිති. එහෙත්, ඒ කිසිවෙකු 2019 අප්‍රේල් 21දාට කලින් මේ තරම් දරුණු ප්‍රහාරයක් මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් එල්ල කළ හැකි බවට අනතුරු අඟවා තිබුණේ නැත.

ප්‍රහාර ගැන අනතුරු අඟවන්නට පුළුවන. මීට කලින් මුස්ලිම් අන්තවාදීන් වෙනත් ආගමකට එරෙහිව එල්ල කර තිබුණ දරුණු ම ප්‍රහාරය වූයේ බුදු පිළිම කැඩීමයි. බුදු පිළිම කැඩීම හා පාස්කු ඉරු දින ක්‍රිස්තියානි පල්ලි තුළ ආත්ම ඝාතක ප්‍රහාර මාලාවක් එල්ල කිරීම අතර දැවැන්ත පරතරයක් තිබේ. එම පරතරය හුදු ත්‍රස්තවාදයේ පරතරයක් පමණක් නොව බුද්ධි තොරතුරු සම්බන්ධ පරතරයක් ද වේ. ප්‍රහාර ගැන අනතුරු ඇඟවූ කිසිවකු මේ තරම් දරුණු ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා නොතිබුණු බව අපි අවධාරණය කරන්නෙමු.

බුදු පිළිම කැඩීමේ ප්‍රහාරවල සිට මරාගෙන මැරෙන ප්‍රහාර දක්වා මුස්ලිම් අන්තවාදයේ පිම්ම ගැන කිසිවෙකු අනතුරු අඟවා තිබුණේ නැත. හොර රහසේ සිදු වූ එම ක්‍රියාවලිය ගැන යමෙකු වගකිව යුතු නම්, පසුගිය රජයත්, ඊට පෙර සිටි රජයත්, සමස්ත ආරක්ෂක අංශත් වගකිව යුතු ය.

මේ තොරතුරුවලින් අංශු මාත්‍රයක් පිළිබඳ හෝ දින සිටියා නම් හිස්බුල්ලාගේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා දේශපාලකයන් සහරාන් සමග ඇසුරු කරන්නේ නැත.

ප්‍රහාරයක් පිළිබඳ දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අනතුරු ඇඟවීම් සිදු කර තිබුණු බව ඇත්තකි. එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ කිසිවෙකු කුමන අන්දමේ ප්‍රහාරයක් ද යන්න නිර්වචනය කර තිබුණේ නැත. සරලව කිවහොත් මේ තරම් දරුණු ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා තිබුණේ නැත. ප්‍රහාරයෙන් පසු එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ බව කීම නිසා අවසානයේදී ඔහුට සිරගත වන්නට ද සිදු විය.

කාදිනල් රංජිත්ගේ ‘ඇමති පුතා බේරුණා’ කතාව හරින් ප්‍රනාන්දුටත්, ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයටත් එරෙහිව සිදු කළ ද්වේෂ සහගත දේශපාලන කතාවකි. ඒ පිළිබඳ විමර්ශන විසින් මේ වන විට හරින් ප්‍රනාන්දුගේ නිර්දෝෂීභාවය හෙළිදරව් වී හමාර ය. කාදිනල් හරින් ප්‍රනාන්දු නම් පුද්ගලයාටත්, ඔහුගේ කතෝලික පියාටත් කළ වරදට ඔහු වගකිව යුතු නැද්ද?

පාස්කු ප්‍රහාරය වර්තමානය දක්වා ම භාවිතා වන්නේ දේශපාලනය සඳහා ය. ඒ පිළිබඳ තොරතුරු දැනගෙන ක්‍රියාත්මක නොවූ බවට චෝදනා එල්ල කර පසුගිය ආණ්ඩුව පළවා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අතර ආණ්ඩු පෙරළීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග දේශපාලන කුමන්ත්‍රණ සිදු කළ නිසා දැන් ඔහු සිටින්නේ ද ඔවුන්ගේ ඔඩොක්කුවේ ය.

තොරතුරු දැනගෙන ක්‍රියාත්මක නොවුණා නම්, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධානියා වන්නේ ඒ වන විට සේනාධිනායකයා හා ආරක්ෂක ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන නම් වර්තමාන පොහොට්ටු ඔඩොක්කු කුක්කා ය.

ඔඩොක්කු කුක්කා යන වචනය සමග මෙම සටහන අවසන් කරන්නට සිතුවෙමි. කාදිනල්ගේ චර්යාව පරීක්ෂා කර බලන්න. හරින් ප්‍රනාන්දු කියන්නේ බොරු නොවේ. එසේම, කාදිනල්ගේ දේශපාලනය කතෝලිකයන් ඒ තරම් පිළිගන්නා බවක් ද නොපෙනේ. පසුගිය ජනාධිපතිවරණයේදී මීගමු ජනතාව දිනෙව්වේ පොහොට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ නොව හංසයා බව අමතක නොකරන්න. කතෝලිකයන් මෝඩයන් නොවේ. කාදිනල්ගේ දේශපාලනය හැම තැනම සාර්ථක වූයේ නැත.

කාදිනල් පමණක් නොව, සෙසු ආගමික නායකයන් ද ඉතා පැහැදිලිව ම තම දේශපාලන පක්ෂපාතිත්වයන් අනුව කටයුතු කරති. මාධ්‍ය කරන අප ද එසේ ය. බොරුවට මධ්‍යස්ථ යයි රඟපාන්නට යන්නට අපට නම් ඕනෑකමක් නැත.