health workers' strike in Sri Lanka

සෞඛ්‍ය වර්ජනයෙන් ඇරඹෙන රාජ්‍ය සේවා වැටුප් විෂමතා රැල්ල හා පුරවැසියා

අජිත් පැරකුම් ජයසිංහ

මෙම සටහන තබන්නේ සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති 18ක් දින ගණනාවක් තිස්සේ අඛණ්ඩ වැඩවර්ජනයක යෙදී සිටියදී ය. මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වී තිබේ. රාජ්‍ය සේවකයන්ගේ මෙවැනි වර්ජනවල නිමක් දක්නට ලැබෙන්නේ නැත. මීට පෙර සංචාරකයන් ඇතුළු දුම්රිය මගීන් මහරෑ අතරමං වන පරිදි දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් කළහ.

අවුරුදු දෙකක් තිස්සේ ඇත්තටම හරිහමන් සේවයක නොයෙදුණු, එහෙත්, අන්තර්ජාලය හරහා උගන්වනවාය කියන ඉතාම අසාර්ථක ප්‍රෝඩාව වර්ජනය කරමින් ගුරුවරුන් විසින් සිදුකරන ලද අරගලය හමුවේ ආණ්ඩුව දණ නැව්වේය. ගොඩනැගෙමින් තිබෙන ආණ්ඩු විරෝධය සමග තම අරගලය සුසංයෝජනය කරගත් ගුරු සංගම් එමගින් ආණ්ඩු විරෝධීන්ට ද ලොකු ආතල් එකක් ලබාදෙමින් අවසානයේදී විශාල වැටුප් වැඩිකිරීමක් ලබාගැනීමට සමත්විය. එම වැටුප වැටුප් විෂමතා ඉවත් කිරීමක්ද නැද්ද යන්න මේ රටේ පුරවැසියන්ට වැදගත්කමක් නැත. රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත.

වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි. මම කලක් ගුරු වෘත්තියේ යෙදුණෙමි. මගේ බිරිඳ හෙද නිලධාරිනියකි. මා නුපුහුණු ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ 1994දීය. මගේ බිරිඳ පුහුණුවට බැඳුණේ 1992දීය. මා පුහුණු ගුරුවරයකු බවට පත්වූයේ 2000දීය. මගේ බිරිඳ පුහුණු හෙදියක ලෙස සේවයට බැඳණේ 1996දීය. මා ගුරු වෘත්තියේ සිටියා නම් මේ වන විට පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකි. මගේ බිරිඳ දැන් පළමු ශ්‍රේණියේ හෙද නිලධාරිනියකි. මා 2015දී ගුරු වෘත්තියෙන් ඉවත් නොවී දිගටම සේවයේ සිටියා යයි සිතන්න. එසේ සිටි මා සමග පත්වීම් ගත් අනෙක් අයගේ මූලික වැටුප මේ වන විට රු. 65,000ක් පමණ වේ. පසුගියදා ඔවුන්ට රු. 18,000ක පමණ වැටුප් වැඩිවීමක් ලැබිණි. ඒ අනුව ඔවුන්ගේ වැටුප රු. 80,000ක් පමණ වේ. මගේ බිරිඳ අතීතයේදී හැමවිටම මට වඩා වැටුපක් ගත්තාය. එහෙත්, දැන් ඇගේ මූලික වැටුප රු. 54,000කට මඳක් වැඩි ගණනකි. ඇය අතිකාල කරන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා ඇයට මා ගුරු සේවයේ සිටියා නම් ලබාගත හැකි මට්ටමේ වැටුපක් ලැබෙන්නේ නැත. විෂමතාවන්ය කියන්නේ මේවාය. තර්කානුකූලව බැලුවොත් ඒවා විෂමතාවන් තමාය.

තවද, සෞඛ්‍ය සේවකයන් යනු කෝවිඩ්-19 අධිවසංගතය අතරතුර විශාල අවදානමක් දරාගනිමින් ඇත්තෙන්ම අගය කළ යුතු සේවයක් කළ පිරිසකි. ඔවුන්ට රු. 7,500ක අතුරු දීමනාවක් මාස තුනක් පමණක් ලබාදී නතර කරන ලදී. රාජ්‍ය සේවකයන් අතරින් පසුගිය වසර දෙක තුළ වඩාත්ම කාර්යක්ෂම සේවාවක් ඉටුකළ පිරිසක් වෙනුවට ඉතාම අකාර්යක්ෂම සේවාවක් ඉටුකළ පිරිසක් තෝරාගෙන වැටුප් වැඩිවීමක් ලබාදීම රජය විසින් සමස්ත රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට පත්කරන තත්වයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.

සමස්තයක් ලෙස, මේ වන විට රජයේ සේවකයන් සෙසු වරප්‍රසාදවලට අමතරව සැලකියයුතු වැටුප් ලබති. සෞඛ්‍යය, පොලිසිය වැනි අංශ දෙක තුනක හැර අනෙක් අංශවල රජයේ සේවකයන් පසුගිය දෙවසර තුළ කළ සේවයක් නැති තරම්ය. ආරක්ෂක හමුදා වැනි ඇතැම් අංශ කිසිදු ඵලදායී සේවයක් සපයන්නේ නැත. එහෙත්, රාජ්‍ය අංශය නඩත්තු කිරීම සඳහා මේ රටේ ජනතාවට අතිවිශාල බරක් දැරීමට සිදුවී තිබේ. ඒ බර දරාගනිමින්, රටේ ආර්ථිකයට ද උරදෙන පෞද්ගලික අංශයේ, ස්වයං රැකියාවල හා අවිධිමත් රැකියාවල යෙදී සිටින අයගේ වැටුප් පවතින්නේ රාජ්‍ය සේවක වැටුප්වලට වඩා පහළ මට්ටමකය.

මේ අතර, තවත් සලකා බැලිය යුතු කාරණයක් තිබේ. රාජ්‍ය සේවකයන් අතරින් එක්තරා වරප්‍රසාදිත මාණ්ඩලික නිලධාරීන් පිරිසකට අවුරුදු පහකට වරක් තීරු බදු රහිත වාහනයක් ආනයනය කරගැනීමේ අවස්ථාව ද ලබාදී තිබේ. මෙම වාහන ඔවුන් රාජකාරි සඳහා භාවිතා කරන්නේ අවම වශයෙනි. ඇතැමෙකු රාජකාරියට යාමට, ඒමටවත් මේ වාහන භාවිතා නොකරති. තීරු බදු රහිත වාහන ලබාගත් ඇතැම් රජයේ සේවකයන් කාර්යාල ප්‍රවාහනය, අඩුමිල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පමණක් නොව රජයේ වාහන පවා වැඩට යාමට, ඒමට භාවිතා කරති. මෙම තීරුබදු රහිත වාහන බලපත්‍ර තවමත් අවලංගු කර නැත. ඒවා ලැබේ නම්, ඔවුන්ට ඒවා විකුණාගැනීමෙන් හෝ වාහනයකට ආයෝජනය කිරීමෙන් ලැබෙන වටිනාකම ද ගණන් බලා මාසික වැටුපට එකතු කළ යුතුය. එසේ කළහොත්, එවැනි රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපට තීරු බදු රහිත වාහන නිසා රු. 30,000 – 50,000 අතර වටිනාකමක් එකතු විය යුතුය.

මෙම රාජ්‍ය නිලධාරීන් යනු පවත්නා රාජ්‍යයේ ඇත්ත හිමිකරුවෝය. රජය ලබාගන්නා ආදායමෙන් 80%කට වඩා වැයවන්නේ ඔවුන්ට වැටුප් ගෙවීමටය. 2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කරන ලදී. තවත් සැලකිය යුතු වියදමක් ඔවුන් වෙනුවෙන් කාර්යාල, ප්‍රවාහනය, පුහුණුව, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදිය වෙනුවෙන් වැයවේ. හන්දියෙ වසකඩේ මුදලාලි තරම්වත් සේවයක් ගොවියාට නොකරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලස්ථානය වෙනුවෙන් යහපාලන රජය කාලයේ රාජගිරියෙන් කුලියට ගත් බිල්ඩිමට වැය වූ මුදල යහපාලන ආණ්ඩුව සමයේ ආන්දෝලනාත්මක දූෂණයක් විය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැඩි තීරණ නොගෙන කිසිදු ආණ්ඩුවකට මේ රට ගොඩගැනීමට නොහැකිය. කිසිදු ඵලදායී සේවයක් නොකරන රජයේ සේවකයන් ස්වේච්ඡා විශ්‍රාමගැනීමේ ක්‍රම මගින් සේවයෙන් ඉවත්කළ යුතුව තිබේ. එසේම, සෞඛ්‍ය හේතු දක්වමින් අධික ලෙස නිවාඩු ලබාගන්නා, අවම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන, රෝගී හා වියපත් රාජ්‍ය සේවකයන්ගේ සේවය අවුරුදු 55න් පසු තවදුරටත් ස්වයංව දීර්ඝ වීමට ඉඩ නොදිය යුතුය. රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62 දක්වා දීර්ඝ කර තිබේ. එහෙත්, 55න් පසු තවදුරටත් සේවය කිරීමට නම්, රජයේ නිලධාරීන් අවුරුදු දෙකෙන් දෙකට හෝ තම ශාරීරික හා මානසික යෝග්‍යතාව තහවුරු කළ යුතු බවට නීති ගෙනා යුතුය.

මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 8ක්, පළාත් සභා නිලධාරීන් ලක්ෂ 3ක්, රාජ්‍ය ව්‍යවසායන් තුළ සේවය කරන ලක්ෂ 2ක්වි ශ්‍රාමිකයන් ලක්ෂ 6 1/2 ක් සහ ආරක්ෂක හමුදාවල ලක්ෂ තුනක් ද එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක හා විශ්‍රාමික සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙනි. මෙහෙම රාජ්‍යයක් නඩත්තු කරන රටක් මෙවැනි අගාධයකට ඇදවැටීම පුදුම විය යුතු තත්වයක් නොවේ. එය හුදෙක්ම දේශපාලකයන්ගේ සොරකම් පිළිබඳ ප්‍රශ්නයකට ලඝු කළ නොහැකිය. රාජ්‍ය නිලධාරීන් අතර ද සොරුන් බහුලය.

රාජ්‍ය සේවකයන්ගේ නිමක් නොමැති වැටුප් විෂමතා අරගල අවසන් කළ යුතුය. රාජ්‍ය සේවයේ සියලු පිළිගත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් රාජ්‍ය වැටුප් ප්‍රතිව්‍යූහගත කිරීමේ උපදෙස් විමසීම් පවත්වා, විෂමතා අවම වන ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවා වැටුප් තල ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එහිදී රාජ්‍ය පරිපාලන සේවය, රජයේ වෛද්‍ය නිලධාරීන් වැනි අයට හැන්ද අතට ගැනීමට දුන්නොත් එතනින්ම වැඩේ ගැස්සෙන්නට ද ඉඩ තිබේ. රාජ්‍ය සේවකයන් තවදුරටත් මේ රටේ ජනතා බදු මුදල් සූරාකා ජනතාව පෙළන බලවේගයක් බවට පත් නොකර, ඵලදායී සේවාවක් ඉටුකරන කාර්යක්ෂම මහජන සේවකයන් පිරිසක් බවට පත්කිරීමට යම් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ද එම ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවකි. රාජ්‍ය සේවය වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය. සරලව කිවහොත්, මොනවා හෝ නිෂ්පාදනය නොකර අපට අනාගතයක් නැත.

Photo credit: News First