Sajith meets Civil Society and Trade Unions Collective

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 13 අනිද්දා පුවත්පතේ පළ වේ)

2015 ජනවාරි 8 සමාජ වෙනස වෙනුවෙන් සිවිල් සමාජ කණ්ඩායම් විසින් විශාල බරක් දරන ලදී. ඒ අතර ඉදිරියෙන් සිටි බලවේග වූයේ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව වැනි සංවිධානයි. එහෙත්, ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු විය හැකි පරිදි ම, සිවිල් සමාජ සංවිධානවලින් කොටසක් ආණ්ඩුව තුළට අවශෝෂණය වෙද්දී, විශාල පිරිසක් එයින් ඉවතට ඇදී ගිය හ.

Translations by Creative Content Consultants

වරක් කේ.ඩබ්ලිව්. ජනරංජන විසින් මෙහෙයවන ලද එක් සුභාරතී වැඩසටහනකට මාත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිත් සහභාගි වූ අතර, පුරවැසි බලවේග තවදුරටත් ආණ්ඩුව රැකගනිමින් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් උත්සාහ කළ යුතු බව මා පවසද්දී, නිර්මාල් ඉතා වැදගත් ප්‍රශ්නයක් ආපසු ඇසී ය. ඔහු ඇසුවේ ආණ්ඩුවට උපකාර කරන්නේ කෙසේ ද යන්නයි. ආණ්ඩුවට උදව් කරන්නට හෝ අවස්ථාවක් සිවිල් සමාජයට තිබුණේ නැත. බලය ලබාගැනීමෙන් පසු ආණ්ඩුව සිවිල් සමාජය නොතකා හැරි බව පැහැදිලි ය.

එහෙත්, සිවිල් සමාජ ව්‍යාපාරවල නායකයන් කිහිපදෙනෙකු විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ සමීප සම්බන්ධය හේතුවෙන් යම් සාධනීය බලපෑමක් ආණ්ඩුවට කිරීමේ හැකියාව ලැබිණි. එසේම ආණ්ඩුවේ රනිල් නායකත්වය දුන් ලිබරල් අක්ෂයට ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ උවමනාවක් ද තිබිණි. ඇතැම් ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරුණේ සිවිල් සමාජයෙන් ම නොවේ. ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම් ද ඒවාට හේතු විය.

සිවිල් සමාජ අපේක්ෂාවලින් කොයි තරම් ප්‍රමාණයක් ආණ්ඩුව ඉටු කළාද යන්න සම්බන්ධයෙන් ප්‍රතිශත ගණනය කිරීමේ ක්‍රමවේදයක් මා දන්නේ නැත. එහෙත්, කුමන ප්‍රතිශතයක් වුවත් එය ජයග්‍රහණයකි. මන්ද, 1994දීත් සිවිල් සමාජය මේ අන්දමින් චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහාය දෙන ලදී. එයින් ලැබුණු ප්‍රතිඵලවලට සාපේක්ෂව වර්තමානය වන විට කතා කරන්නට පුළුවන් ජයග්‍රහණ ගණනාවක් තිබේ. ස්වාධීන කොමිෂන් සභා, තොරතුරු දැනගැනීමේ අයිතිය, අතුරුදහන් වීම් වැළැක්වීමේ නීති, වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීති, හානිපූරණය සම්බන්ධ නීති ආදිය පමණක් නොව ශ්‍රී ලංකාව නවීන ප්‍රජාතන්ත්‍රවාදී, මානව හිමිකම්වලට ගරු කරන සමාජයක් බවට පත් කිරීම සඳහා ඉවහල් වන අන්තර්ජාල ආරක්ෂණය, පෞද්ගලික දත්ත ආරක්ෂාව වැනි කරුණු දක්වා නීති ප්‍රතිසංස්කරණවලට ආණ්ඩුව අතගසන ලදී. පොලිසිය, අධිකරණ, අධ්‍යාපන, සෞඛ්‍යය, බදු, ආයෝජන වැනි අංශ රැසක කැපීපෙනෙන ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය. එහෙත්, ඒවා ණය මත ඉදි කරන මෙගා සංවර්ධන ව්‍යාපෘති මෙන් ඇස ගිනිකණ වට්ටන්නේ නැත. පාලම්, බෝක්කු, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපලවල් හදන්නැයි සිවිල් සමාජය කවදාවත් ඉල්ලා සිටියේ නැත. සිවිල් සමාජය කිසිදු කලෙක ණය මත කරන එවැනි ප්‍රාතිහාර්යවලින් ඇස් ගිනිකණ වට්ටාගත්තේ නැත.

ආණ්ඩුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන මූලික කාරණයක් වන්නේ 2015ට පෙර බරපතල අන්දමින් දූෂණයේ සහ වෙනත් අපරාධවල යෙදුණු ආණ්ඩුවට සම්බන්ධ බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට අසමත් වීමයි.

කෙසේ වෙතත්, රාජපක්ෂ ආණ්ඩුව 2010දී තම ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මුලින් අත්අඩංගුවට ගෙන පසුව චෝදනා සොයා නඩු පවරා සිරගත කළ ක්‍රමය වෙනුවට විමර්ශන හා අධිකරණ පද්ධති ශක්තිමත් වීම සුබදායී තත්වයකි. ඉහත සඳහන් කරන ලද චෝදනා සම්බන්ධයෙන් බොහෝ අයට එරෙහිව විමර්ශන හා අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් තිබේ. එහෙත්, ඒවා සිදුවන්නේ නීතිය ක්‍රියාත්මක වන සාමාන්‍ය ආකාරය අනුවයි.

ලංකාවේ නඩු විභාගයක් අවසන් කිරීමට ගත වන කාලය බොහෝ විට අවුරුදු 10 කට වැඩි ය. ඇතැම් අපරාධ නඩු අවුරුදු 20 ක් තරම් වන කාලයක් ගනී. බරපතල අපරාධ කර ඇප ලබා පැමිණ ගම්වල වයසට යන අපරාධකරුවන් පිළිබඳ ඕනෑම අයෙක් දනිති. තමන් පැටලුණු නඩුත් ඕනෑ තරම් කල් යමින් තිබියදී ඇතැමෙකු අවුරුදු හතරහමාරක් ඇතුළත සියලු හොරුන්ට දඬුවම් කළාදැයි ආණ්ඩුවෙන් ඇසීම වංචනික තර්කයකි.

දක්ෂ නීතිවේදීන් ඇල්ලීමට අති විශාල ධනයක් හා බලය හිමි අය නඩු වළක්වා ගැනීමට හා කල් දමාගැනීමට නීතිය තුළ ගත හැකි සියලු විධිවිධාන ගනිති. ඇතැම් චෝදනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ මට්ටමේදී පවා මහාධිකරණයට අභියාචනා කර, එතනින් පැරදුණොත් අභියාචනාධිකරණයට ගොස්, එතනින් ද පැරදුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා කරන අවස්ථා තිබේ. එමගින් නඩු සෑහෙන ඈතට කල් දමා ගැනීමට පුළුවන. උදාහරණයක් ලෙස, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇවන්ට්ගාඩ් සම්බන්ධ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබිණි. නඩුවේ විත්තිකරුවන් අටදෙනා අතරින් එක් අයෙකු වන ගෝඨාභය රාජපක්ෂ නඩුව අභියෝගයට ලක් කරමින් පළමුව මහාධිකරණයට ද, එය ප්‍රතික්ෂේප වීමෙන් පසු අභියාචනාධිකරණයට ද පෙත්සම් ඉදිරිපත් කරන ලදී. මෙම නඩුව පවරා තිබුණේ 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමට අනුමැතිය ලබා දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව නඩු පැවරීම යන තාක්ෂණික කාරණය මුල් කරගෙන, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට ඉතිරි කරමින් අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අටදෙනා නිදහස් කරන ලදී. දැන් නඩුව මුල සිට යළි පටන් ගත යුතු ය. මුලින් ම එසේ පටන් ගැනීමට එකී කොමිෂන් සභාව විසින් තීරණය කළ යුතු ය. මන්ද, ඒ සම්බන්ධ අධිකරණ නියෝගයක් නැති බැවිනි.

නඩු කල් යන්නේ මෙසේ ය. අනෙක් පැත්තෙන්, නීතිය ක්‍රියාත්මක කරන පද්ධති කරා පවා විහිදිය හැකි සමාජ හා ධන බලයක් මෙකී චූදිතයන්ට එදා තිබුණාක් මෙන් ම අද ද තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ධුරය හෙබවූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවකුට දුන් දුරකථන ඇමතුමේ හඬපටය තත්වය පැහැදිලි කරයි. එහෙත්, බොහෝ විට මෙම නිලධාරීන් ආවරණය වන්නේ දේශපාලකයන්ට වරද පටවමිනි.

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂම, අධිකරණය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවය ම දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු ය. ඒ කටයුතු කිසිවක් ලෙහෙසියෙන් සිදු වන්නේ නැත. වෙනස වනාහි අති දුෂ්කර කාර්යයකි. වෙනස සම්බන්ධ සොඳුරු සිහින නිර්මාණය වෙනස වෙනුවෙන් ඇත්ත අරගලයට වඩා පහසු ය. සරල ය. ජනප්‍රිය ය.

ගත වූ වසර පහක කාලය තුළ මුලපුරන ලද කටයුතු, පැවති ආණ්ඩුවට වඩා ස්ථාවර පාලනයක් තුළ තවත් අවුරුදු පහක්වත් ඉදිරියට ගෙන යා යුතු ය. ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. ජනාධිපතිවරණ බලාගෙන හිටි හැටියේ හදන ඊනියා විකල්ප ජයග්‍රහණය කරන්නේ නැත. හොඳම සිහින දකින්නට හෝ පවත්නා යථාර්ථයවත් රැකගත යුතු ය. එසේ නොමැතිනම් ඉදිරියට එන්නේ භයානක ෆැසිස්ට්වාදයකි. අතරමැදි විකල්ප මායාවන් පමණි.

ඉගිලෙන්නට සිහින මවන සුරංගනා පියාපත්වලට වඩා, අද්ද අද්දා හෝ ඇවිදිය හැකි බරවා කකුල හොඳ ය. සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුවේ මෙම තීරණය බරව කකුල රැකගැනීමට ගත් එකක් විය හැකි ය. කකුලේ අසනීපය සුව කරන්නට බැරි වුණත්, අලුත් සිහින දකින්නට හා විකල්ප හදන්නට අවශ්‍ය නිදහස හෝ එයින් ආරක්ෂා වේ නම් ඒ ඇති ය. විකල්ප නිර්මාණය කිරීම සඳහා ඉපදී ඇතැයි සිතන බලවේග පසුගිය පස් වසරක නිදහස් අවකාශය තුළ හැදූ විකල්පයක බීජයක්වත් තිබේ නම්, එය පැළ කරගැනීම සඳහා අවශ්‍ය පස වසා යළි ඇතිරෙන්නට යන කුණු කන්ද වළක්වා ගත යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.