Sunil Rathnayake

අජිත් පැරකුම් ජයසිංහ

මිරුසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී ජනාධිපති සමාව ලැබූ සුනිල් රත්නායක ළමයින් ඇතුළු පිරිස ඝාතනය කළේ පිවිතුරු යුදමය අරමුණකින් විතරකැයි සිතමු. එසේ නම්, එතනින් කෙනෙකු පැන ගොස් මේ සමස්ත සිද්ධිය හෙළිදරව් වීම හා ඉන් පසු ලෝක ප්‍රසිද්ධ නඩුවක් වීමත්, සුනිල් රත්නායක පාපොච්චාරණය කිරීම හා තමන්ගේ කණ්ඩායමේ සෙසු අය පාවා දීමත් බරපතල යුදමය වැරදි වේ. එහෙම ගත්තොත්, සුනිල් රත්නායක සම්බන්ධ ගැටලුව හමුදාව විසින් යුදමය අන්දමින් ම විසඳාගත යුතුව තිබුණි. එහෙත් හමුදාව එසේ කළේ නැත. හේතුව, යුද්ධය යනු හුදෙක් ම යුදමය කාරණයක් විතරක් නෙමෙයි, දේශපාලනික කාරණයක් ද වන නිසා ය.

Translations by Creative Content Consultants

ඒ නිසා සුනිල් රත්නායක ප්‍රශ්නය සැලකිය යුත්තේ යුදමය නොව දේශපාලනික ප්‍රශ්නයක් ලෙසයි. මේ ආණ්ඩුව බලයට එන්නට විකිණූ ජාතිවාදී සටන් පාඨ අතර සුනිල් රත්නායක නිදහස් කිරීම ද තිබිණි. එහෙත්, බලයට පැමිණි හැටියේ එය කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධෛර්යය නොතිබිණි. ජාත්‍යන්තර මට්ටමෙන් ම ඔහුටත්, රජයටත් චෝදනා එල්ල වන බව ඔහු දැන සිටියේ ය. තමන් කරන්නට යන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි වැඩක් බව ඔහු දැන සිටියේ ය.

එහෙත්, මෙවැනි මැතිවරණ පොරොන්දු ඉටු කිරීම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සිංහල ජාතිවාදයේ සහාය දිනාගැනීමෙහි ලා අත්‍යවශ්‍ය ය. එබැවින් ඔහු කල් යල් බලා, සොරකු සේ, ලෝකයේ අවධානය කොවිඩ්-19 වෙත යොමු වී තිබියදී, හෙමින් සැරේ සුනිල් රත්නායක නිදහස් කර දැමුවේ ය.

යුද්ධය සමස්තයක් ලෙස ම අපරාධයකි. එහෙත්, අප වැඩි දෙනෙක් යුද්ධයට ආවඩා තිබේ. යුද වැදුණු දෙපාර්ශ්වයේ සෙබළුන් සටන් කළේ ඒ දෙපාර්ශ්වය වෙනුවෙනි. එයට සමාජයේ අප බොහෝ දෙනෙකු වගකිව යුතු අතර, අප නිදහස් සමාජයේ සිටියදී සුනිල් රත්නායක වැනි අය පමණක් සිරබත් කෑම තේරුමක් නැත. එසේම, කරුණා, කේපී වැනි ජීවතුන් අතර සිටි කොටි නායකයන් නිදහස් සමාජයේ සිටියදී ඔවුන්ගේ නියෝග මත ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයන් සිරගත කිරීම ද තේරුමක් නැත. යුද්ධය සම්බන්ධයෙන් පොදු සමාවක් අරමුණු කරගත් විමර්ශනයක් අවශ්‍ය ය. එහිදී සොයා බැලිය යුත්තේ පොදු සමාවක් දීමට ඇති හැකියාව මිස දඬුවම් කරන ආකාරය නොවේ. හේතුව, පුද්ගලයන්ට කරන දඬුවම් යුක්තිය සම්බන්ධයෙන් අසම්පූර්ණ ක්‍රියාවක් වීමයි.

මේ රටේ දේශපාලකයන් රටට ඇත්තට ම ආදරය කරන අය නම් සහ යුද අපරාධ චෝදනා ඇති අය එසේ කළේ ද ඇත්තට ම රටට ආදරේ නිසා නම්, කළ යුතුව තිබුණේ රජයට මෙම කාරණා යටගසාගන්නට පහසු වන අන්දමින් ඔවුන් අප්‍රකටව සිටීමයි. එහෙත්, ලංකාවේ එසේ වූයේ නැත. යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අයට ජනාධිපතිකම්, හමුදාපතිකම් පවා අවශ්‍ය විය. රටට ඇත්තට ම ආදරය කරන අයට රටට සේවය කරන්නට මහ ලොකු තනතුරු ම අවශ්‍ය නැත. ඇතැම් විටෙක නිහඩ වීම පවා රටට සේවයකි. එහිදී සමාජයට ද වගකීමක් තිබේ. යුද අපරාධ චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් සමාජය තම වගකීම භාර ගත යුතු අතර, ඔවුන් ආරක්ෂා කරගත යුතු ය. එහෙත්, ඔවුන් ඉහළ තනතුරුවලට ඔසවා තබා ලෝකයට අභියෝග කරන්නට යාම ලංකාව වැනි කුඩා රටවලට සුදුසු නැත.

යුද අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ යුදවාදී මෙන් ම යුද විරෝධී නායකයන්ගේත් ප්‍රවේශය වැරදි ය. එහෙත්, දැන් ආපසු හැරීමක් නැත. සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය පැමිණවීම හෝ සිරගත කර තැබීම තේරුමක් නැත. ඔහු නිදහස් කරනවාට අප විරුද්ධ නැත. එහෙත්, මෙහි වරදක් ඇත. වරද වන්නේ ඔහු පමණක් නිදහස් කිරීමයි. පොදු සමාවක් දෙනවා නම්, වැරදිකරුවන් වූ අයට පමණක් නොව, නිවැරදිකරුවන් ලෙස පෙනී සිටින අප සැමට ම හෘදය සාක්ෂියෙන් නිදහස් විය හැකි ය.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.