Bhagya Aberathne

බර්නාඩ් එදිරිසිංහ

‘යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ ඉන්දීය උත්තරාකාන්ඩ් මහාධිකරණ විනිසුරු රවින්ද්‍රා මෙටානි

විසම්මුතියට තිබෙන පුරවැසි අයිතිය  මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරීන්ට යළි යළිත් සිහිපත් කරන්නට සිදුවී තිබීම අප මුහුණදී සිටින අනතුර පිළිබඳ ප්‍රබල සංඥාවක් වෙයි. 

සිංහරාජය අසල ගම්මානයක සිදුවන වන විනාශය පිළිබඳ පෞද්ගලික රූපවාහිනී නාලිකා වැඩසටහනකදී සිය නොසතුට හා කණස්සල්ල පළ කළ රක්වානේ භාග්‍යා අබේරත්න ශිෂ්‍යාවට මේ වන විට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී. සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ඇයගේ නිර්භීත ප්‍රකාශය ඇගයීමට ලක් වන අතරම ඊට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පොලිසිය ප්‍රතිචාර දැක්වු ආකාරය විවේචනයට භාජනය වෙමින් පවති. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඇයගේ ප්‍රකාශය විවේචනය කරමින් එහි අඩංගු කරුණු සාවද්‍යයැයි කියා සිටියේය. යම් කිසිවෙකුගේ බලපෑම මත රක්වාන පොලිසිය ඇයගේ නිවසට ගොස් ප්‍රකාශයක් ද ලබා ගෙන තිබුණි. සාමාන්‍යයෙන් පොලිසිය විධිමත් හෝ අවිධිමත් පැමිණිල්ලකින් තොරව විමර්ශනයක් ආරම්භ නොකරයි. ඒ නිසා රක්වාන පොලිසියේ ක්‍රියාකාලපය යම්කිසි බලපෑමක් මත සිදුවූවක් යැයි අනුමාන කළ හැකිය. (මෙම ලිපියත් කියවන්න: භාග්‍යා නොඉවසීම)

‘ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම හෝ සාමය කඩවීමක් සිදු නොවන්නේ නම්, ආණ්ඩුවට හෝ එහි සේවකයින්ට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කිරීම  රාජ්‍ය ‍ද්‍රෝහීත්වය නොවන බව’ මෑතකදි ඉන්දියාවේ උත්තරකාන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩුතීන්දුවකදී ප්‍රකාශයට පත් කෙරිණි. මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි. (නඩු තීන්දුව: https://bit.ly/3rNPSfj )

දේශපාලකයින්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන් ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක පුරවැසියන්ට තිබෙන මූලික අයිතිවාසිකමකි. මෙම අයිතියට මං ඇහිරීම අධිකාරිවාදය වර්ධන වීමට සමගාමිව පාලක පංතිය විසින් ගනු ලබන පියවරකි. ලෝක ජනගහනයෙන් සියයට 68ක් යම්කිසි ආකාරයකින් අධිකාරිවාදී යැයි කිව හැකි දේශපාලන ක්‍රම තුළ ජීවත් වන්නේ යැයි Varieties of Democracy (V-Dem) 2021 වාර්ෂික වාර්තා වේ සඳහන් කරයි. (වාර්තාව මෙතැනින් කියවන්න: https://bit.ly/2Zrnwem ) අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රටවල් 32ක (2020දී) දරුණු ලෙස තර්ජනයට ලක් ව ඇතැයි එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි. සිය බලය තහවුරු කර ගැනීම පිණිස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, විශේෂයෙන්ම විසම්මුතික වීමට තිබෙන අයිතියට, පහර ගැසීම කළ යුතු කාර්යක් ලෙස පිළිගැනීමේ ප්‍රවණතාවයක් පාලක පංතිය විසින් අවධාරණය කිරීමේ ප්‍රවණතාවයක් ලොව පුරාම පැතිරි යමින් තිබේ.

ආණ්ඩුවක ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය විවේචනය කළ හැක්කේ විශේෂඥ වෛද්‍යවරයෙකු රෝග විනිශ්චයකදී ‘සායනික වාර්තා’ පරීක්ෂා කොට සිය මතය ප්‍රකාශ කරන ආකාරයෙන් යැයි පාලකයින් හා ඔවුන්ගේ කුලී හේවායන් ( මෙය පොහොට්ටුවේ මහ ලේකම් විසින් තමා විවේචනය කරන තැනැත්තන් හැඳින්වීමට  පාවිච්චි කළ යෙදුමකි)  සිතන්නේ නම් ඔවුන්ට භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ මුලික මානව අයිතිය පිළිබඳ බොහෝ දෑ ඉගෙන ගැනීමට තිබෙන බව කිව යුතුයි. ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දේශපාලන ඉතිහාසය විමසා බලන විට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රාජ්‍ය බලය ප්‍රශ්න කිරීම පිණිස පිළිගත් මෙවලමක් ලෙස ස්ථාපිත වුයේ ජන අරගල තුලිනි. එහි ප්‍රතිඵලයක් ලෙසට අද භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු රාජ්‍ය සම්බන්ධ සිය සිතැඟි නොසඟවා කියන්නට තිබෙන නිදහසයැයි පිළිගැනේ.  වෘත්තීය මාධ්‍යවේදීන් සිය මාධ්‍ය රචනාවලට අඩංගු වන කරුණු දෙවරක් සොයා බලා පාවිච්වි කිරීම වෘත්තීය ප්‍රමිතියකි. නමුත් උත්තරකාන්ඩ් නඩු තීන්දුවේදී විනිසුරුවරයා විත්තිකාර මාධ්‍යවේදියාගෙන් ‘තමා මෙම කරුණු පරික්ෂා නොකළේ මන්දැයි’ නොඇසු බව සිහි කරන්න.

අනාගත පරම්පරාව විසම්මුතික බව යෞවන යෞවනියන් විසින් සමාජ මාධ්‍ය ජාල, විවිධ රූපවාහිනී වැඩසටහන් ආදිය හරහා කරන ප්‍රකාශනයන්ගෙන් සංකේතවත් වෙයි.  ‘විසම්මුතියට’ මහජන අවකාශය තුළ ඉඩ තිබෙනවාද නැද්ද යන්න භාග්‍යා අබේරත්න ශිෂ්‍යාවගේ සිදුවීම පදනම කොටගෙන යළිත් මතු වීම ද ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින විනාශකාරී මාවත පිළිබඳ අනතුරු ඇඟවීමකි. අද යෞවන පරපුර සිය කුඩා කළ සිටම ගොඩනැගෙන්නේ පරිසර හිතකාමී ආකල්ප සහිතවය. 2018 අගෝස්තු මස දේශගුණික අර්බුදය පිළිබඳව ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට තනිවම විරෝධතාවක් දැක්වු ග්‍රේටා තන්බර්ග්ගේ සත් ක්‍රියාව හේතුෙකො‍ෙගෙන බිහිවූ දේශගුණය පිළිබඳ පාසැල් වර්ජන ව්‍යාපාරය මේ වන විට මිලියන 10ක පමණ දායකත්වයක් සහිත ගෝලීය සමාජ ව්‍යාපාරයක් බවට පත් වි තිබේ. 2019 වර්ෂයේ ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ඇය සිය කෝපය හසුරුවා ගැනීමට ප්‍රතිකාර ගත යුතුයැයි’ ප්‍රකාශ කළ අතර එම වර්ෂයේම ටයිම්ස් සඟරාව ග්‍රේටා තන්බර්ග් වසරේ තැනැත්තිය බවට ප්‍රකාශ කළේය.

විසම්මුතිය අද මහජන අවකාශය තුළ විවිධ සමාජ කණ්ඩායම් සඳහා අවැසි මෙවලමකි. එහි පුළුල් දේශපාලන අර්ථයෙන් ගත් කල විසම්මුතිය යනු දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් සමඟ සිය නොඑකඟතාවයන් ප්‍රකාශයට පත් කිරීමක් නොවේ. එම දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් පදනම් කොට ඇති දෘෂ්ටිය ද ප්‍රශ්න කිරීමක් වෙයි.

3 thoughts on “විසම්මුතිය පුරවැසි අයිතියකි

  1. Prajathanthrieya rajayaka aanduwak pathkaraganu labanne janathawai .
    Aanduwata padi gewanne janathawa visini .
    Raaja purusayanda , aanduwada janathawage sewakayan bevin deparshawaya ae bawa hondin mathak karagatha yuththo wethi .

  2. Nodiyunu ratawala , aekadhipathithwayata nemburuwoo paalakayo VISAMMUTHIYA ta ida nodei .
    Eya notherenawaa menma therenno kata puka wahagena bakannilagena inna janaya wesena raajyaka anaagathaya suba netha .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: