UNHRC

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021 මාර්තු 28

බරපතල අපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියා කිරීම සිදු නොවන විට අලුතෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවීමේ අවදානම වැඩි වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව වෙත 2019 මාර්තු මස ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්විණි. එවකට බලයේ සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට පවා සම අනුග්‍රහය දැක්වූ ආණ්ඩුවකි.

2021 වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි “විධායක බලය පිළිබඳ වැඩි සංවරණයන් හා තුලනයන් ලබා දුන් 2015 ප්‍රතිසංස්කරණ ආපසු හරවා ඇති අතර අධිකරණයේ සහ අනෙකුත් ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය තවදුරටත් ඛාදනය වී තිබේ. සුළුතර ප්‍රජාවන් සමඟ වැඩි පිළිගැනීමක්, ගෞරවයක් හා ප්‍රතිසන්ධානයක් පොරොන්දු වූ සියලුදෙනා ඇතුළත් ජාතික කතිකාවක ආරම්භය ආපසු හරවා ඇත.” එතකොට ලංකාවේ එහෙම වෙනකල් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව පොල්ගෑවාද? මේ ලිපියත් කියවන්න: යුද්ධයේ අවසානය දස වසරක් තිස්සේ වවාගෙන කන ජිනීවා

යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු ප්‍රගතියක් පෙන්වා නැති බව දැන් කලක සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හා මානව හිමිකම් සභාව මතුරනු ලබන මන්ත්‍රයකි.

ලෝකවාසී ජනතාව ලෙස අපට අසන්නට ප්‍රශ්නයක් තිබේ. එනම්, තත්වය එසේ නම්, මානව හිමිකම් සභාව, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා/ වරිය හා එම කාර්යාලය, ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය හා රාජ්‍ය නොවන හා සංවිධාන, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, මානව හිමිකම් සම්බන්ධ රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්, අවුරුද්දට වරක් දෙවරක් ජිනීවා වන්දනා කරන මානව හිමිකම් ප්‍රභූ පිරිස් හා රාජ්‍ය නිලධාරීන් ආදීන් පසුගිය 12 වසර තුළ කළේ කුමක් ද?

විශේෂයෙන්ම, පසුගිය සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත සාමය ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මේ රටේ සාමාන්‍ය ජනතාව හාංකවිසියක් නොදන්නවා වුණාට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් වැය කරන ලදී. විවිධ රාජ්‍ය ව්‍යාපෘති රැසකට ද එමගින් ආධාර ලබාදෙන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙම සාමය ගොඩනැගීමේ අරමුදලින් ආධාර ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහ.

පසුගිය 12 වසරක් පුරා ලංකාවේ මානව හිමිකම් හා සාමය ගොඩනැගීම නමින් ලබාගත් වැටුප්, දීමනා, සංචාර සඳහා වූ වියදම් කොපමණ ද? මේවා හෙළිදරව් කිරීමට මෙම ආයතනවලට ධෛර්යය තිබේ ද? ඒ වියදම් සාධාරණීකරණය කළ හැකි ප්‍රතිඵල දර්ශක ආදිය මොනවා ද? ප්‍රතිඵල නොමැති නම් මෙකී මානව හිමිකම් ව්‍යාපෘති තව දුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද? ඒවා සම්බන්ධයෙන් තිබෙන වගවීම කුමක් ද? සරලව ඇසුවොත්, ලංකාවේ වගවීම ප්‍රශ්න කරන ව්‍යාපෘතිවල වගවීම කුමක්ද?

ලංකාවේ මානව හිමිකම් තත්වය ඉහළ නැංවීමටත්, සංහිඳියාව ඇතිකිරීමට හා සාමය තිරසර කිරීමටත් ය කියා වියදම් කරන ලද ධනස්කන්ධය රු. බිලියන් ගණනකි. එහෙත්, යුද්ධය නිමා වී 12 වසරක් අවසානයේ කුමක් සිදු වී තිබේ ද? ජාතික ප්‍රශ්නයට විසඳුම් පිණිස මෙතෙක් ක්‍රියාත්මක කරන ලද එක ම බැරෑරුම් රාජ්‍ය ප්‍රතිසංස්කරණය ලෙස සැලකිය හැකි පළාත් සභා ක්‍රමය ද අක්‍රිය වීම නොවේද?

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් 2015දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව විසින් සම්මත කරනු ලැබූ 30/1 දරණ යෝජනා සම්මතයේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ආදියයි. කරුණු ගණනාවක් ඇතුළත් වූ එක්සත් ජාතීන්ගේ මෙම යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වී සිටිමුත් එය ඉටු කිරීමට ලංකාව අසමත් වීම හේතුවෙන් 2017 වසරේදී සම්මත කරගන්නා ලද 40/1 යෝජනා සම්මතය මගින් ඒ වෙනුවෙන් තවත් වසර දෙකක කාලයක් ලබාගන්නා ලදී. මෙම යෝජනා සම්මතයන් අනුව රජය ලබා දුන් පොරොන්දු 36 ක් පවතින බව ද එම පොරොන්දු ප්‍රධාන තේමාවන් පහකට වර්ග කළ හැකි බවද වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එනම් 1. සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව 2. අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය 3. ආරක්ෂාව සහ නිර්හමුදාකරණය 4. බලය බෙදා ගැනීම 5.අන්තර්ජාතික මැදිහත්වීම්.

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ මෙම මැදිහත්වීම සමග නිර්මාණය වී තිබෙන තත්වය වන්නේ කුමක්ද? මෙම ක්‍රියාවලියට සහයෝගය දුන් ආණ්ඩුව අන්ත පරාජයකට ලක්විය. ඒ සමගම නැවත බලයට පත්වී සිටින්නේ යුද අපරාධ හා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව නියෝජනය කරන ජනාධිපතිවරයෙකු හා ආණ්ඩුවකි. එසේ නම්, මේ රට තුළ පසුගිය පස්වසරකට වැඩි කාලය තුළ සාමය ගොඩනැගීමක් සිදුවී තිබේද? නැතිනම් සිදුවුණේ සමාජය ධ්‍රැවීකරණය වීම තවත් වැඩිවීම නොවේද? එම තත්වයට වගකියන්නේ කවුරුද? කෙසේද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: