Athura

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාව මේ මොහොතේ පසුකරමින් සිටින්නේ පරිවර්තනීය සමයකි. එය විප්ලවීය අවධියකැයි කීමෙහි ද වරදක් නැත. විප්ලවයක් යනු සමාජ ක්‍රමයෙහි වේගවත් විපර්යාසයකි. ලංකාවේ ද මේ මොහොතේ එසේ සිදුවෙමින් තිබේ. විප්ලවයක් පැනනගින්නේ පැවති සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගත නොහැකි තත්වයක් නිර්මාණය වීමෙනි. එහිදී අලුත් ක්‍රමයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, එය සිදුවන්නේ පවත්නා ප්‍රායෝගික තත්වයන් තුළ මිස දෘෂ්ටිවාදීමය ආකාරයකින් නොවේ.

සුප්‍රකට කාර්මික විප්ලවය සම්බන්ධයෙන් ගත් කල විප්ලවය යන්නෙන් අදහස් කරනු ලබන්නේ ආර්ථික සබඳතා සහ තාක්ෂණික තත්වයන්හි රැඩිකල් හා ගැඹුරු වෙනසක් ගැනය. විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදී එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන අතර අවසානයේ පෙර පැවති එකට වඩා රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබේ. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්විය.

16 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ චින්තකයකු වන නිකොලෝ මැකියාවෙලි විප්ලවයේ තර්ජනය දරාගත හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කළ අයෙකි. එහෙත්, බලය පිළිබඳ ඔහුගේ දැක්ම අනුව, ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු ව්‍යුහයේ වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිගන්නා හෙයින් මැකියාවෙලි නූතන විප්ලවවාදී චින්තනයේ පුරෝගාමියෙකි. ඔහු කිසි විටෙක විප්ලවය යන වචනය ඔහුගේ ග්‍රන්ථවල භාවිතා නොකළ අතර, මූලික වශයෙන් සැලකිලිමත් වූයේ ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ය. ඒ සඳහා ද පරිවර්තන අවශ්‍ය විය.

ඒ අර්ථයෙන් ගත් කල 2022 මහජන නැගිටීමෙන් පසු බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ද නූතන මැකියාවෙලි කෙනෙකි. ඔහු කිසි විටෙකත් විප්ලවය යන වචනය භාවිතා නොකරන අතර ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පරිවර්තනයකට මුලපුරා ඇත.

18 වන සියවසේ ජර්මානු දාර්ශනිකයෙකු වූ ඉමැනුවෙල් කාන්ට් විප්ලවය මානව වර්ගයාගේ ප්‍රගමනය සඳහා අවශ්‍ය උසස් සදාචාරාත්මක පදනමක් සාක්ෂාත් කර ගැනීමේ “ස්වාභාවික” පියවරක් බව විශ්වාස කළේය.

19 වන සියවසේ ජර්මානු දාර්ශනිකයකු වූ හේගල් විප්ලවය මනුෂ්‍ය ඉරණමෙහි පූර්ණ වීමක් ලෙස දුටු අතර, විප්ලවවාදී නායකයින් ප්‍රතිසංස්කරණ මුලපිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අය ලෙස දුටුවේය. හේගල්ගේ න්‍යායන් මත පදනම් වූ කාල් මාක්ස් පන්ති අරගල න්‍යාය ඉදිරිපත් කළේය. මාක්ස් මානව ඉතිහාසයේ ප්‍රගතිශීලී අවධීන් කෙරෙහි විශ්වාසය තැබූ අතර එය අවසන් වූයේ කම්කරු පන්තිය දේපල හිමි පන්තිය පෙරලා දැමීමෙනි. සමාජය ඉදිරියට යාමට නම්, කම්කරු පන්තිය හෙවත් නිර්ධන පංතිය නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කර ගත යුතු යයි ඔහු ඉදිරිපත් කළේය. මාක්ස් මෙම සිදුවීම සැලකුවේ නිදහස සහ පන්ති විරහිත සමාජයක් සඳහා වූ මානව අරගලයේ උච්චස්ථානය ලෙසයි. මාක්ස්ගේ මෙම ඓතිහාසික භෞතිකවාදී විශ්ලේෂණය අනුව විප්ලවය එතැනින් අවසන් වේ. කෙසේ වෙතත්, එය පරිකල්පනයකි.

දැන් අපි නැවතත්, රනිල් වික්‍රමසිංහ වෙත යොමුවෙමු. ඔහු විප්ලවයකට මුලපුරා ඇතැයි අපි කියමු. අයවැය කතාවේදී පැහැදිලිව පැවසූ ලෙස මේ වන විට 1977දී ආරම්භ කරන ලද ක්‍රම වෙනස ද මේ වන විට යල්පැන ගොසිනි. 1977ට පෙර පැවති රාජ්‍ය ධනවාදී සමාජවාදී ක්‍රමය තුළ ආර්ථිකයේ ක්‍රියාකරුවෙකු ලෙස රාජ්‍යය මූලික වූ අතර, ප්‍රධාන ව්‍යාපාර හැම එකක්ම රජයේ මෙහෙයුම යටතේ තිබිණි. ඒවා ඒ සමයේ පටන්ම අතිශය අකාර්යක්ෂම ව්‍යවසායන් විය. 1977න් පසු සිදුවූයේ රාජ්‍යය ව්‍යාපාරකරණයේ යෙදෙන ගමන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කිරීමයි. විශේෂයෙන්ම විදේශ ආයෝජනවලට රට විවෘත කරන ලදී. කෙසේ වෙතත්, විවෘත ආර්ථිකය ලෙස ප්‍රසිද්ධ වුව ද, අවුරුදු 50කට ආසන්න කාලයක් ගතවී තිබියදී පවා ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත වී තිිබෙන්නේ සීමා සහිතවය.

රනිල් අයවැයෙන් යෝජනා කරනුයේ සමාජ ආරක්ෂණ වෙළඳපොළ ක්‍රමයකි. එහි මූලික ලක්ෂණ වන්නේ, රජය ව්‍යාපාරකරණයෙන් ඈත් වීම, නියාමනය, පෞද්ගලික අංශය හා නිදහස් වෙළඳපොළ දිරිගැන්වීම සහ දිළිඳු හා කොන්කිරීමට ලක්වන ජනයා වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රම සම්පාදනය කිරීමයි.

කලින් පැවති ක්‍රමයත්, නව ක්‍රමයත් අතර වෙනස සලකුණු වීම දැනටමත් ආරම්භ වී තිබේ. කලින් ක්‍රමය තුළ සිල්ලර බඩු විකිණීම, උළු ගඩොල් තැනීම දක්වා විහිදුණු දැවැන්ත රාජ්‍ය අංශයක් පැවති අතර, නව ක්‍රමය යටතේ රාජ්‍ය අංශය යෙදෙනු ඇත්තේ තෝරාගත් සේවා හා ව්‍යවසායන්හි පමණි. ලාභ ලබනවාද නැද්ද යන්න පවා අදාළ නැත. ඒ අනුව, දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු නොකිරීමේ ප්‍රතිපත්තියකට අනුව, රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් නොකළද, අලුත් බඳවාගැනීම් දැඩි ලෙස සීමා කර ඇත. රජය වැඩි ආනයන/ නිෂ්පාදන පිරිවැයක් දරා කරනු ලබන තෙල්, ගෑස්, විදුලිය, ජලය වැනි නිෂ්පාදන අඩු මිලට නොසැපයීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. එසේම, ප්‍රතිපත්තිමය වශයෙන් හෝ මුදල් මැවීම හෙවත් සල්ලි අච්චු ගැසීම සීමා කර තිබේ. රජයේ බදු ආදායම් වැඩිකරගැනීමට අවධානය යොමුකර තිබේ. ඍජු බදු අනුපාතය වැඩිකිරීමට සැලසුම් කර තිබේ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම ඉලක්කයක් වන අතර සේවාවන් පවා වෙළඳපොළකරණය කිරීම අරමුණකි. සමස්තයක් ලෙස සුබසාධනවාදී රාජ්‍යයෙන් විතැන් වීම අරමුණු කර තිබේ.

ඒ අතරතුර රනිල් ජාතික ප්‍රශ්නය විසඳීම, තරුණ හා කාන්තා නියෝජනය ඇතුළු සාධාරණ නියෝජානය තහවුරු වන පරිදි මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ව්‍යවසායක හිතවාදී හා ලෝකයට විවෘත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදුකිරීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් නායකත්වය දෙන බව පෙනේ. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය මත පදනම් වන ඔහුගේ ආණ්ඩුව ස්ථාවරව ඉදිරියට යමින් තිබේ. විපක්ෂයේ තර්කය වන්නේ එය ජනමතයකින් තොර ආණ්ඩුවක් බවයි. ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් ඔවුන් ඉදිරිපත් කර නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ නීති නොතකා අරගල කිරීමේ නිදහසයි. ඒ ඔස්සේ බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් මෙම විප්ලවය ඉදිරියට ගෙන යයි ද, නැද්ද, කුමක් කරයි ද යන්න පැහැදිලි නැත. එම බලවේගය වෙනම විග්‍රහ කළ යුතුය.

මෙනයින් ගත් කල, දැවැන්ත පරිවර්තනයක් ආරම්භ කර තිබෙන බව පැහැදිලිය. මේ ඉදිරියට යන්නේ ලංකාවේ මේ මොහොතේ කළ හැකි සහ කළ යුතු විප්ලවයකි. එය රනිල්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ. ඉදිරියට ගෙන යාම ඔහුගේ පමණක් වැඩක් නොවේ.

2022-11-27 අනිද්දා සමබිම අතිරේකයේ පළවිය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: